Wednesday, May 28, 2014

කඳු ..




සමාජ අධ්‍යයනය පාඩමට මධ්‍යම කඳුකරය හා ශේෂ කඳු ගැන ඉගෙන ගත්තේ 8 පන්තියේදී . රාජධානි බොහොමයක් පිහිට තිබුනේ කඳු ආශ්‍රිතව . සෙන්කඩගල රාජධානිය ඉංග්‍රීසින්ට යටත් කර ගන්න  අපහසු වෙන්නත් කදු සහිත භූ විෂමතා ලක්ෂණ හේතු වෙන්න ඇති .  සිතියම් ලකුණු කරද්දී කඳු ලකුණු  කරන්නේ දුඹුරු පාටින් ත්‍රිකෝණකරව. ශ්‍රීපාදය , වැඩහිටි කන්ද  කඳු ප්‍රසිද්ධ ඒවායේ ආගමික වටිනාකම් නිසයි . ලෝකයේ උසම කන්ද එවරස්ට් වුනාට ලංකාවේ උසම කන්ද පිදුරුතලාගල.  ලංකාවේ ගිනි කඳු , හිම කඳු නෑ . එත් කුණු කඳු තියෙනවා . වැලි කඳු තියෙන්නේ කාන්තාර ආශ්‍රිතවයි .

අපේ නිර්මාණ සාහිත්‍යටත් කඳු වස්තු විෂයය  වෙලා තියෙනවා. " හපුතලේ කන්ද දැකලා  බඩ  දනවා " කියල කරත්ත කවියක් තියෙද්දී " කන්දේ ලන්දේ .. කියල  ගැමි සිරියාව මවන්නේ රෝහණ බැද්දගේ ශූරින් . " කන්ද උඩින් " එන අය වගේම " කන්ද කපා  පායන හදත් " අපේ ගීත සාහිතයේ හමු වෙනවා .
 " කන්දේ වීදිය " කෘතියට පදනම් වෙන්නේ සෙන්කඩගල පුරවරයලු( තාම කියවලා  නම් නෑ ). "කන්දක් ගිනි ඇවිලෙන්නේ " කියල කවියකුත් සාහිත්‍ය සම්මාන ලබපු පොතකුත් තියෙනවා . ඇත්ත කන්දක් නොවුනත් සාහිත්‍යයේ නම් "චුම්බන කන්ද" ත් හමු වෙනවා.

කන්ද නාමය ගම්  නගර වලටත් ඇවිත් ඇත්තේ ඒ ආශ්‍රිතව කඳු තිබුණු නිසා වෙන්න ඇති . මහනුවර හදුන්වන "Kandy " කියන ඉංග්‍රීසි වචනය බිදෙන්න ඇත්තෙත් "කන්ද" කියන වචනයෙන් වෙන්න ඇති කියල සමහරු විස්තර කරනවා . " දොළු කන්ද " , " කන්දේ වත්ත ", " පින් කන්ද " , "වැලිකන්ද  " ඒ වගේ නම් කිහිපයක් .

 යම් ද්‍රව්‍යක විශාල සංඛ්‍යාවක  එකතුවටත් සිංහලයා  කන්ද කියනවා . " පොත් කන්ද ", " රෙදි  කන්ද " එහෙම යෙදෙන අවස්ථා කිහිපයක්. " පහන් කන්ද පාමුල අඳුරයි " කියල කියන්නේ ලෝකයටම වැඩ සලසන  එලිය දෙන කෙනාගේ ජීවිතය , ගෙදර ඇතුලත් ප්‍රශ්න හරි දුක් හරි තියෙන කොටයි .   දැන් මම මේ සටහන නැවැත්තුවේ නැත්නම් මම "කෙන්ද කන්ද කරනවා" කියල ඔයාලට හිතෙයි .

Friday, May 16, 2014

අඩ දශකයක් ගෙවී ගිය පසු ...



 පස් වන විජයග්‍රහණයේ සමරුවත් ඇවිල්ලා . දැන් නම් යුද්දේ තිබුණද  කියලත් බොහෝ දෙනෙක්ට අමතක වෙලා . කොළඹ  පාරවල් ගණනාවක් වහලා  තියෙද්දී විකල්ප මාර්ග භාවිතා  කරපු, සමහර ගොඩනැගිලි වලට යන්න කලින්ම වාහන අංක කලින් දෙන්න වුණු , නිතර නිතර check  point  වල නැවතී නැවති ගිය අයට සමරුව නිසා විකල්ප මාර්ගයක් භාවිත කරන්න කිව්වත්, පැය  කිහිපයකට පාරක් වැහුවත්  එකත්  කරදරයක් වෙලා කියල පහුගිය කලේ දැනුනා  . යුද්දයට මගේ ළඟ නෑදෑයෙක් ගිහින් නෑ . සමහර යාලුවෝ හමුදා වල හිටියත් ඒ කලේ  වැඩිය FB  ජනප්‍රිය නැති නිසා ඒ ගැන දන ගත්තෙත් පස්සේ.( ඔවුන්ට ඒ කාලේ FBතිබුනත් එන්න විදියක් තිබෙන්න නැතුවත් ඇති ) ඒත්  සටන් බිමට පුතෙක් යවපු අම්මලාගේ හිතේ ඇතිවෙන ගින්දරම දුවල 3 දෙනෙක් විතරක් හිටියත් ඒ තුන්දෙනාම  කොළඹ   රස්සාවල් කරපු , ජීවත් වෙච්ච ,ඉගෙන ගත්ත අපේ අම්මගේ හිතෙත් ඇවිලෙන්න ඇති . බෝම්බය සුලභ අත්දැකීමක් වුනු ඒ කාලේ  කොහේ හරි බෝම්බයක් පිපිරුණු ගමන් ගපි 3දෙන කතා කරලා අපි හොදින් බව දැන  ගන්නත් ගෙදරට කතා කරලා කියන්නත් පෙළඹුණා . සමහර විට උදේ ගෙදරින් පිට වුනම් හවස ගෙදර එනකම් විස්වාස නැති නිසා සමහර දෙමව්පියෝ වෙන් වෙන්ව ගමන් බිමන් ගියේ. ඒ බෝම්බයකින් එක කෙනෙක් නැති වුනත් දරුවන්ට ආරක්ෂාව දෙන්න  ජීවත් විය යුතු නිසා .  අපේ බාලවිය , පාසල් කාලය , විශ්ව විද්‍යාල සමය, තාරුණ්‍යය  අවුරුදු 30කටත් එහා ගිය යුද්ධයක් එක්කමයි . පිටත පේන  බෑග්  වල පොත් අරන් ගිය අපි , කොළඹින් intercity  bus  එකක නැග්ගම පානදුරට  එනකම් check point  4 ක විතර  බැහැ  බැහැ  කොළොඹ  ඉදන් ගෙදර ගිය අපි , හදුනා  නොගත් ගුවන් යානා කොළඹ අහසේ සැරිසරද්දී කරුවලේ හිටි අපි , කොයිතරම් බර බැග්  එකක් අතේ තිබුනත්  වුනත් බෝම්බයට බයෙන් බස් එකට  නැගී කෙනෙක්ගේ බැග් එක ඉල්ලගන්න අකමැති වන තරමටම තත්වයකට පත්වුණා.  ඒ අත්දැකීම විදලා  තමගේ  තාරුණ්‍යය ,ජීවිතය, අවයව පරිත්‍යාගයෙන් අපෙන් පස්සේ  එන හැම ජාතියකම , ආගමකම පරම්පරාවට  ඉතා සොදුරු  ළමා වියක් යොවුන් වියක් ලබාදුන්  අයට නම්  ඉපදෙන්න ඉන්න පරම්පරාවත් ණය ගැතියි . ඉස්සර අපි කිව්වේ "හදවතින් අපි යුදබිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ "කියලා ...දැන් හදවතින් යුද බිමට යන්න ඕනේ නැතත් ඒ  අඳුරු අතීතය   මතක පරම්පරාවගේ හිතට තට්ටු කරලා බැලුවොත් සාමය උදා  කල  විරුවන් කිසි දිනක තනි කරන්න නම් හිතෙන එකක් නෑ ..

Wednesday, May 14, 2014

වෙසක් කූඩු ..



ඉස්සර අපි වෙසක් කූඩු හදන්න ලෑස්ති වෙන්නේ පෝයට සතියකට කලින් ..ගෙදර උණ  හෝ බට නැති නිසා ඒවා ඇති තැනකින් ගෙන්වාගෙන ටිකින් ටික සමතුරශ්‍රකාර  සැකිලි  අම්ම තාත්ත හෝ සීයා හදද්දී   මමත් නූල්  උදවු කරනවා ...වෙසක් දවසට කලින් දවසේ එහෙම හදපු අටපට්ටමට සව කොළ අලවනවා . පුංචි කලේ මේ රැලි පටි  අලවන්න උදවු වෙන අපි ඉතිරි සව කොළ වලින් කොඩි වැලක් හරි දම්වැලක් හරි හදනවා . වෙසක් කූඩුවක් හැදීම ජ්‍යාමිතික දැනුම , හසුරු කුසලතා හා යහ ආකල්ප සංවර්දනය වන ලොකු ඉගෙනුම් අවස්ථාවක් . ඒ වගේම  නිර්මශීලිත්ව, පිළිවෙල ,ඉතිරි වෙන දේ අපතේ නොයවා ප්‍රයෝජන ගැනීම  වගේ ගොඩක්  දේ  ඒ තුලින් ඉගෙන ගන්න තිබුණා . (ඒ ඒ කාලේ ) පස්සේ පස්සේ අපි වෙසක් කූඩු card board  රවුම් එකතු කරලා සෙලොෆෙන් දල හැදුවා . කොහොම වුනත් මේවා ගෘහ ආශ්‍රිතව වුන  ස්ව නිර්මාණ .  හැම ගෙදරම වගේ හදපු වෙසක් කූඩු තිබුණා . හමාර කූඩු වල සැකිලි අවුරු ගනනාවක් තිබුණා . අපි වෙසක් එකට අලුතින් කොළ අලවල ගත්තා . 
දැන් නම් ගෙවල් වල වෙසක් කූඩු හැදෙනවා අඩුයි . ළමයි වුනත් කඩෙන් ගන්න සැකිල්ලකට  කොළ අලවනවා නැත්නම් පර අයිනේ ඕනේ තරම් හැම විදියෙම වෙසක් කූඩු තියෙනවා . මෙයවේ අය කාලය වෙසක් එකත් එක්කම ඉවරයි . ඊලග වෙසක් එකටත් අලුත් කූඩුවක් ගන්න අපි ඒක ගෙදර එල්ලනවා . දැන් නිර්මානත්මක  වෙසක් කූඩු බලන්න නම් වෙසක් කලාපයකටම යන්න වෙනවා . කාර්යබහුලකම , අමු ද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුව, පසුවෙන් වෙළද පොලෙන් නිමි වෙසක් කූඩු ගැනීමට හැකිවීම ආදිය  නිසා පුංචි කලේ අපි අසාවෙන් බල හිටි  නිදි මරාගෙන   පාප්ප  ගාගෙන  වෙසක්  කූඩු හදල ගත්ත සොදුරු මතකය අද ළමයින්ට නම් නැති තරම්. 

Thursday, May 8, 2014

It is a matter of time ...........


කාලය යනු සැමට සාධාරණ එකම දෙයයි . ඕනෑම කෙනෙකුගේ දිනකට පැය 24 කි . ගැටලුව ඇත්තේ එය යොදා  ගන්නා  ආකාරයයි .  ගෙවීගිය කාලය නැවත ලබාගත නොහැකි සම්පතකි . පස් මහා බැලුම් වල පළවෙනි  බැලුමද  කාලයයි . යමක් ආරම්භයට සුදුසු කාලය පැමිණිය යුතුය. වැරදි කාලයේදී නිවැරදි දේ කිරීමත් සුදුසු කාලයේදී නිවැරදි දේ නොකිරීමත් පලදායි නොවේ . සමහර කාලවල අගය දැනෙන්නේ එය නිමවූ පසුවය . පාසල් කාලය , විශ්ව විද්‍යාල සමය  එසේ අමාරුවෙන්  ගෙවී ගිය  නමුත් අද  ආපසු හැරී බලද්දී නැවත යාමට සිතෙන අවධීන්ය . සමහර දේ කිරීමට ඉක්මන් වුණා  යයි පසු තැවෙන  අපි  ඒ කාලයේ යම් යම් දේ කිරීමට නොහැකි වීම ගැනද පසුතැවිලි වෙමු . සමහර විට එක දවසක , පැයක , මිනිත්තුවක වෙනස ජීවිතයටම බලපායි . යුද්ධය ඇති කාලයේ පැයක  ප්‍රමාදයකින් හෝ කලින් පැමිණීමෙන් බෝම්බයකින් බේරුණු අය  හමුවී ඇත. මමද දිනක වෙනසකින් එසේ  බෝම්බයකින් ගැලවී ඇත . එසේම  ඉතාමත් සුළු ප්‍රමාදයක් නිසා බෙහෙවින් පසු තැවිල්ලට  පත් වීමට සිදු වූ අවස්ථා එමටය . සමහර දේ කොතරම් උත්සහ කලත් අප වෙත ලග වෙන්නේ නියමිත කාලයේයි සමහරු කියති . සමහර කාලවල ඉතා වැදගත් වූ දේ කාලය ගෙවී යාමත් සමග නොවැදගත් වේ . කාලය  විසදුම් දෙන යතුරු බලා  ඉදින්නේ ගැළුවක් විසදීමට බැරිම වූ විටය .  කාලය බොහෝ තුවාල සුව කරන ඔසුවක්ද වන අවස්ථා තිබේ . ඔරලෝසුව , දින දර්ශනය කාලය ගතවීම ගැනඅපිට හඟවයි . අතීතයෙන් පාඩම් ඉගෙන ගත හොත් වර්තමානය සාර්ථක බව පැරැන්නෝ පැවසූහ . එහෙත් අතීතය වර්තමානයේදී ප්‍රතිනිර්මාණය වන අවස්ථාද ඇත . කාලය රන් හා සමාන වුවත් නපුරු කාලයට මිනිසුන්ට එන ගහට පව් පලදී මිස නිම නොවන බවද කියති .    අපි ඉන්න තිබුනේ ඒ කාලයේ නැත්නම් තව ටිකක් පහු වෙලා උපන්න නම් මොකද ? යනු මෙකල ඇත්තන්ගේ කලේ ඇති වචනයකි . මේ සටහනටද කාලය හරස් වීම නිසා මෙතනින් නවතිමි .

Wednesday, April 30, 2014

මෙහෙත් හරි වැස්ස ..



මේ දවස්වල හැමදාම හැමතැනම වැස්ස ..පොඩි කාලේ  කඩදාසි ඔරු පා  කරන්න වහිනකම්  ඉන්නවා . ඉස්සර වැසි දවස්වල ඉස්කෝලේ යන්න තෙමෙන්න ආසයි . දෙපැත්තෙන්  ලොකු ජනේල  තියෙන පන්ති වලින් හිරිකඩ එනවා එතකොට ඩෙස්ක් පේලි අතර ඉඩ නැති වෙන විදියට එකතු කරලා අපි පන්තිය මැදට ගුලි වෙනවා .  දැන් නම් වහිනකොට එලිය බහින්න එපා වෙනවා . වැස්සත් එක්ක  කණු අවහිර වෙලා පාරවල් යටවීම වාහන තදබදය මෙයට හේතු වෙන්න ඇති . ( නැත්නම් වැඩිහිටියන් විදියට වැස්සේ සෞන්දර්යය දකින්න විදින්න බැරි තරම් අපි busy  හෝ matured වෙලා ඇති .) වැස්ස  පදනම් කරගත් කවි කතා නාට්‍ය  ගීත දෙබස් බොහොමයි.  පුංචි කාලේ  කිව්වේ "Rain  Rain  go  away " කියලා ." එහෙත්  හරි වැස්ස ..මෙහෙත් හරි වැස්ස " දයානන්ද ගුණවර්ධන ශූරින් ගේ නරි බෑනා  නාට්‍යයේ එහෙම දෙබසක් තියෙනවා . "අපි සමුගත් පසු වසින්න"  කියල වැසි වලාකුලෙන් ඉල්ලන කාලෙකින් පෙම්වතිය හමුවන පෙම්වතකු ගේ සංකල්පනාවක් වික්ටර් රත්නායක මහතා ගයනවා .  "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ" අතීත මතක අතර ට යන්නේ රෝහණ වීරසිංහයන් .  තමා හැර  ගිය පෙම්වතා  නැවත පැමිණිම  "අකලට වට  මහ වරුසාවකට"  සමාන කරමින්    ගීයක් ගයනවා . "වැහි දිය මහා බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද? "කියලා   විශාරද දීපිකා  ප්‍රියදර්ශනී  පීරිස්  අහනවා .   එක  කුඩේ යටින් පෙරදා ගිය දැන් වැස්සේ මුවාවක් හොයන ස්වාමි පුරුෂයාට " මේ වහින්නේ එදා මල් වරුසාවමයි"  කියන්නෙත් ඇයමයි . " වැසි වසී  සුළන්  සැරයි -ඔබ තෙම්යි කියා බයයි"එඩ්වඩ් ජයකොඩි ශූරීන්ගේ ගීයක තිබෙන සංකල්පනාවක් .නොක්කඩුවකට පසුව කාන්තාවකගේ මුහුණ සම කරලා තියෙන්නේ ' මහ වරුසාවට පසුව නැගෙන හඳට ' . වචන හරඹයක පසු මුනිවත රකින කාන්තාවක කියන්නේ " මහ වැස්සක් බිමට හෙලා  නිදහස වූ අහසක් සේ " නිසොල්මනේ ඉන්න එපා කියලා .

වැස්සේ රූගත කල ගීතයක් හින්දි චිත්‍රපටි වල නම් අනිවාර්ය  අංගයක් . වර්ෂා  කියලා  නමුත් තියෙනවා . ඒ නමින් කියන නවකතාව මුලදී පොද වැස්සක් වගේ සෞම්‍ය  නිසා කියවන්න ආස  හිතුණත්  පස්සේ මුරුගසන් වරුසාවක් වගේ ඉවරයක් නැති නිසා කියවන්න තිබුණු ආසාව  නැති වුණා . කොහොම වුනත් වැස්ස එදා වගේම අදත් හෙටත් නිර්මාණකරුවන්ගේ සංකල්පනා වලට වස්තු විෂය වේවි .

Sunday, April 27, 2014

සියලු සයන්ස්කාරයෝ ..


මම සයන්ස්කාරයෙක්මි . ඒ A /L  bio  කළ  නිසාය . උසස් පෙළ විද්‍යා විෂයය ධාරා  හදරූවන් සයන්ස්කාරයෝ විය යුතු වුවත්  ජීව විද්‍යා විෂයය ධාරාව හැදෑරු  අය සයන්ස්කාරයෝවෙද්දී භෞතික විද්‍යා  විෂයය ධාරාව හදරූ අය  මැත්ස්කාරයෝ වූහ . ඒ කටවහරේ පහසුවටය . මේ සියලු  සයන්ස්කාරයෝ (සංස්කාරයෝ  නොවේ) A /L  පන්තියට එද්දී වෛද්‍යවරයෙක් වෙන්නට බලපොරොත්තු  වන්නට  ඇත . එත්  ඒ සිහිනය යථාර්තයක් වන්නට ඇත්තේ සුලුතරයෙක් සඳහා පමණි . සිහිනය ලකුණු 8කින් අහිමි වූ මා  විශ්ව විද්‍යලයේදී  vet , agri  අතහැර  bio කළෙමි . දැන් මෙන් නොව එකල bio   cut  off  එක තිබුණේ vet , agri වලට පහලය . මගේ පාරේ ම ගොස් ලකුමු වලට හිමි හෝ ඊට  පහල  වුවත් කැමැත්ත ඇති විශ්ව විද්‍යාල course  තෝරා  ගත්  යහළු  යෙහෙළියෝ බොහෝය . විශ්ව  විද්‍යාල  ප්‍රවේශයට ලකුණු මැදිවූ හෝ කැමති පාඨමාලා  හිමි නොවූ අය අංශක 90 කින් කරකැවී  Law  Entrance  කර නීතිඥයෝ වූහ . එසේ වී පසුව මහේස්ත්‍රාත්වරුන්   අයද මට මුණ ගැසී තිබේ . සමහරු CIMA /Charted  කර ගණකාධිකාරිවරු වුහ . වෛද්‍ය සිහිනය බිද දැමීමට අකමැතිම වුවෝ විදේශ වෛද්‍ය විද්‍යාල වලට  ගියහ ගියහ . සමහරු වෙනත් පාඨමාලා  සඳහා විදේශ ගත වූහ .  A /L  ප්‍රතිපල නිසා bio /සයන්ස්  එපාවූ සමහරු   අංශක 180 භ්‍රමණය වී Arts /Commerce  කර විශ්ව විද්‍යාලයටද ගියහ. අංශක  360 කින්ම  කරකැවී ත්‍රිවිධ හමුදාවට හෝ ඒ සම්බන්ද පාඨමාලා  වලට ගිය සහෝදර වරුද බෙහිවී .  (මින්  බොහෝ දෙනෙක් දැන් ඉහල නිලවල සිටිති )පාසලින් පසු විවද රැකියා මෙන්ම business  සඳහා ගිය අයද සිටී . සිහිනය බොඳ කර   

විශ්ව විද්‍යාල අදයපංයෙන් පසු තරඟ  විභාග සමත් වී ම මෙන් පරිපාලන සේවා හෝ දීප ව්‍යාප්ත සේවා ගිය අය  රැසකි . අපිට කලින් ගිය අය  රටේ මෙන්මන් විදේශ වලද ඉතා  ඉහල තැන්වල සිටිනු දැකීම සතුටකි .  උසස් පෙළ  ප්‍රතිපල මත වෛද්‍ය විද්‍යාලයට පිවිසීම අතිශය දුෂ්කරය . එය මම 
අත්දැකීමෙන්ම දනිමි . ඒ කදිම තරණය කර අද ඊටත්  ඉහල  විභාග සමත්ව රෝගී ජීවිත රැක ගන්නා  සහෝදර සහෝදරියන්ට ආචාර කරමි. නො පසුබට  උත්සාහයෙන්   නුහුරු රටකදී   දුක් විද තම  සිහිනය සැබෑ  කරගෙන  මෙරට හෝ පිටරට සේවය කරන වෛදවරුන්ගේද ධෛර්යය අගයමි . එහෙත් තමා  උසස්  පෙලට  හෝ විශ්ව විද්‍යාලේ උගත් දෙයට සපුරා වෙනස්  රැකියාවල සාර්ථකව නියෙලෙමින් මගේ නොවන මගේම සිහිනයක ඔටුනු පලන් සයන්ස්කාරයන්  ගැන නම් ඇත්තේ  සැබෑ  ආඩම්බරයකි .



Wednesday, April 16, 2014

ගම ගාල්ලේ....




මගේ ගම ගාල්ලේය .  වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියා කතාවක් ඇත .  යම් කිසිවකට මන් ඉතින් ගාල්ලේ නේ යි කී විට   තරමක් තරහ ගිය මගේ මිතුරෙක් කීවේ  ඔහුට ගමක් නැති බවයි . මව හා පියා වෙනස් ගම වල ඉපිද පියාගේ රැකියාව නිසා වෙනස්ම ප්‍රදේශයක ඉපිද කොළඹ  හැදී වැඩී  රැකියාව නිසා ලංකාවේ හැම තැනම ජීවත් වූ ඔහු කියන්නේ ලංකාවම තමාගේ ගම බවය . මා  දන්නා හැටියට  හැමෝටම ගමක් ඇත . එය උපන් ගම හෝ දිගු කලක් හැදුනු වැඩුණු ප්‍රදේශය විය හැක .  මා  මෙන්ම මගේ පියාද පියාගේ පියාගේ පියාද ගාල්ලේ ඉපදී හැදුනු වැඩුණු  පාරම්පරිකවම  මගේ ගම ගාල්ල  වී ඇත .  මගේ උප්පැන්න සහතිකයේ , හැදුනුම්පතේ මෙන්ම විදේශ ගමන් බලපත්රයේද උපන් ස්ථානය ගාල්ල ලෙසත් ගාල්ලේ මගේ නිවසේ ලිපිනයත් සදහන් වී ඇත . මා  ගාල්ල ජන්ද බල ප්‍රදේශයේ චන්ද දායකයෙකු නිසා ශ්‍රී ලංකා ප්‍රජන්තන්ත්‍රවාදී  ජනරජය ද මගේ ගම ගාල්ල ලෙස සලකයි . ඒ නිසා මම ගාල්ල මගේ ගම ලෙස සැලකීමට නීත්‍යානුකූල බාධාවක්ද නැත .
 මගේ සටහනේ  ගාල්ල ගැන  ලියවෙන්නේ මා  වැඩිපුර දන්නේ ඒ ගැන නිසාය . උදාහරණයක් ලෙස මහින්ද රිච්මන්ඩ් ක්‍රිකට් ගැටුම වෙනුවට රෝයල්  තෝමියන් ක්‍රිකට් ගැටුම ගැන ලියන්න මා  දන්නේ නැත .  මගේ ගමේ පාසල් කාලයේ  තොරතුරු ලිව්වත් ඒවා බේදයකින් තොරව වෙනත් ගම්  වල අයද  සියල්ලෝ රස විඳි බව මා  සමහර ප්‍රතිචාර වලින් දනිමි . ඒ ඔවුන්ගේ පාසල් වල අත්දක්කීම් හා බද්ද  කරගනිමිනි.  මා  ලියු  "take me  home  - country roads " සටහන ගමින් පිටවී ගම ගැන මෙනෙහි කරමින් වෙසෙන සියල්ලන්ම ගැන  සඳහන් කරමින් ලිවීමි . මා  ලියන්නේ මගේ සිතුවිලි නිසා එය ගම පැත්තට බරවීම ස්වාබවිකය .
මා  ජීවත් වී තිබෙන්නේ ගාල්ලේ හා කොළඹ පමණය . ගාල්ලේ ඉපදී හැදී වැඩුණු  මා  දෙපයින් සිට ගත හැකි කෙනෙක් කලේ කොළඹ ගෙන්දගම් පොලවයි .  ගාල්ලේ ඉන්න කාලයේ ගමේ යනවයි අපි අවුරුද්දට ගියේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මගේ මවගේ මහා ගෙදරටයි .මා  පාසල් කාලයේ සිට ජීවත් වීම අසා  කල නගරය නුවරයි . වඩාම  චමත්කාරයක් ජනිත කල නගරය නම් ත්‍රිකුනමලයයි . නැවත නැවත යාමට ආස හිතෙන්නේ යාපනයේය . දිස්ත්‍රික්ක විසි පහේම මගේ හිතවතුන් දන්නා අදුනන අය  සිටිති .

මාර්ටින් වික්‍රමසිංහ ශූරින් කොග්ගල පදනම කරගෙන් ලියු කතා ලංකාව පුරා  ප්‍රචලිත වූ අතර  මගේ  ප්‍රියතම නව කතා රචිකාවක්  වන සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ බොහෝ නවකතා රත්නපුරය ප්‍රමුඛ සබරගමු පළාත පදනම් වී ඇත . නිර්මාණයක රචිත ප්‍රදේශයේ හතර මායිම් බලනු වෙනුවට නිර්මාණය කියවා  රස විදින්නන්ට  ගාල්ලගැන තොරතුරු මේ සටහනේ අඩංගු වීම   එහි රසයට බාදාවක් නොවුණු ඇති බව මගේ විස්වාසයයි .(photo courtesy - Wikipedia)