මේ දවස්වල හැමදාම හැමතැනම වැස්ස ..පොඩි කාලේ කඩදාසි ඔරු පා කරන්න වහිනකම් ඉන්නවා . ඉස්සර වැසි දවස්වල ඉස්කෝලේ යන්න තෙමෙන්න ආසයි . දෙපැත්තෙන් ලොකු ජනේල තියෙන පන්ති වලින් හිරිකඩ එනවා එතකොට ඩෙස්ක් පේලි අතර ඉඩ නැති වෙන විදියට එකතු කරලා අපි පන්තිය මැදට ගුලි වෙනවා . දැන් නම් වහිනකොට එලිය බහින්න එපා වෙනවා . වැස්සත් එක්ක කණු අවහිර වෙලා පාරවල් යටවීම වාහන තදබදය මෙයට හේතු වෙන්න ඇති . ( නැත්නම් වැඩිහිටියන් විදියට වැස්සේ සෞන්දර්යය දකින්න විදින්න බැරි තරම් අපි busy හෝ matured වෙලා ඇති .) වැස්ස පදනම් කරගත් කවි කතා නාට්‍ය ගීත දෙබස් බොහොමයි. පුංචි කාලේ කිව්වේ "Rain Rain go away " කියලා ." එහෙත් හරි වැස්ස ..මෙහෙත් හරි වැස්ස " දයානන්ද ගුණවර්ධන ශූරින් ගේ නරි බෑනා නාට්‍යයේ එහෙම දෙබසක් තියෙනවා . "අපි සමුගත් පසු වසින්න" කියල වැසි වලාකුලෙන් ඉල්ලන කාලෙකින් පෙම්වතිය හමුවන පෙම්වතකු ගේ සංකල්පනාවක් වික්ටර් රත්නායක මහතා ගයනවා . "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ" අතීත මතක අතර ට යන්නේ රෝහණ වීරසිංහයන් . තමා හැර ගිය පෙම්වතා නැවත පැමිණිම "අකලට වට මහ වරුසාවකට" සමාන කරමින් ගීයක් ගයනවා . "වැහි දිය මහා බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද? "කියලා විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් අහනවා . එක කුඩේ යටින් පෙරදා ගිය දැන් වැස්සේ මුවාවක් හොයන ස්වාමි පුරුෂයාට " මේ වහින්නේ එදා මල් වරුසාවමයි" කියන්නෙත් ඇයමයි . " වැසි වසී සුළන් සැරයි -ඔබ තෙම්යි කියා බයයි"එඩ්වඩ් ජයකොඩි ශූරීන්ගේ ගීයක තිබෙන සංකල්පනාවක් .නොක්කඩුවකට පසුව කාන්තාවකගේ මුහුණ සම කරලා තියෙන්නේ ' මහ වරුසාවට පසුව නැගෙන හඳට ' . වචන හරඹයක පසු මුනිවත රකින කාන්තාවක කියන්නේ " මහ වැස්සක් බිමට හෙලා නිදහස වූ අහසක් සේ " නිසොල්මනේ ඉන්න එපා කියලා .
වැස්සේ රූගත කල ගීතයක් හින්දි චිත්‍රපටි වල නම් අනිවාර්ය අංගයක් . වර්ෂා කියලා නමුත් තියෙනවා . ඒ නමින් කියන නවකතාව මුලදී පොද වැස්සක් වගේ සෞම්‍ය නිසා කියවන්න ආස හිතුණත් පස්සේ මුරුගසන් වරුසාවක් වගේ ඉවරයක් නැති නිසා කියවන්න තිබුණු ආසාව නැති වුණා . කොහොම වුනත් වැස්ස එදා වගේම අදත් හෙටත් නිර්මාණකරුවන්ගේ සංකල්පනා වලට වස්තු විෂය වේවි .
No comments:
Post a Comment