Tuesday, December 24, 2013

ලස්සන වසීලිස්සා සිට ගුරු ගීතය දක්වා.....



අපි පුංචි කාලේ  රුසියානු කථා වල සිංහල පරිවර්තන හරි ජනප්‍රියයි .මට මතක හැටියට මම මුලින්ම තනිවම කියවපු ( ඊට කලින් පින්තූර කතා අම්ම කියල දීල තිබුන ) රුසියානු පරිවර්තනය ලස්සන වසීලිස්සා..එකේ  සමහර නම් උච්චාරණය මෙන්ම මතක තබා ගැනීම අසීරු වුනත් ..එහි තිබුණු  චමත්කරයට  එයම හේතුවක් වෙන්නත් ඇති ...ඊට පස්සේ ළමා කතා වල සිට සම්භාව්‍යය සාහිත්‍ය කෘති දක්වාම කියවන්න ඇති.. වැඩ බැරි දාස  පොත් එකතුවම මන් ඒ දවස්වල කියවල තිබුනා . ඒ දවස්වල මේ පොත් ප්‍රකාශ කලේ රාදුගා කියල ප්‍රකාශකයෙක් ..දැදිගම වි . රුද්‍රිගු ගේ පරිවරතන බොහොමයක් තිබුණා . කොහොම වුනත් මේ පොත් වල මුද්‍රණ තත්වය ඉතා ඉහලව තිබුණා . පස්සේ කලෙක මේ පරිවර්තන වලට තිබුණු ආසාව  ගිලිහිලිලා ගියා ..නැවත වරක් ගුරු ගීතය campus  එකේදී කියෙව්වට පස්සේ රුසියානු පරිවර්තන බැලුවෙම නැති තරම් ...එත් විදේශයක ඉගෙන ගනිද්දී පොත් වල තිබුණු දුයිශෙන්ලා...ටගනොව් ලා  සමග එකම පන්තියක ඉගෙන ගන්නත් රුසියන් භාෂාවේ වචන 2-3ක් ඉගෙන ගන්නත් අවස්ථව ලැබුණා . පොත් වල තිබුන සුරංගනා කතා වගේ දර්ශන ඇත්තටම පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ රටවල් වල තියෙනවා ..ඒ කතා ඒවායේ ජන ජීවිතයට සමානයි ..කියල දන ගත්තේ එතකොටයි ...පරිවර්තන කියවීමේ මගේ ආසාව නැති වුනේ කොහොමද කියල මතකනැතත් ඒ දවස්වල අසාවෙන් පරිවර්තන කියවපු බොහොම දෙනක් දැන්  පරිවර්තන  කියවන්නේ නෑ ..ඒ හොඳ පරිවර්තන බිහි වීම අඩු නිසාද , වැඩ හොඳ ස්වතන්ත්‍ර  කෘති  බිහිවීම නිසාද , බොහෝ පරිවර්තන යථාර්තයට සමීප නැති නිසාද ..නැති නම් කාලයත් අත්දැකීම් එක්ක අපේ රස වින්දන හැකියාව වෙනස් වෙලා ද කියල තවම හිත ගන්න බෑ ....

Tuesday, December 3, 2013

බොන්න බොන්න ...



CD බාවිතයට එන්න කලින්  ගුවන් විදුලියේ ගීත ප්‍රචාරය වුනේ තැටි වදනයෙනුයි . ඒවායේ පලුදු නිසා ගීත ගීත ප්‍රතිවාදනය වීමත් ඒ පිළිබඳව නිවේදකයා සමාව ඉල්ලීම අහපු අවසන් ළමුන් පරම්පරාව වුනේ 80 දශකයේ ළමයන් වූ අපි වෙන්න ඇති. මේ  නිසා සමහර ගීත ඒ ගීත වල අර්ථයට  පටහැනි ලෙසත් පරති වාදනය වුණා. විශාරද නන්දා මාලිනි මහත්මියගේ " බුදු තාත්තේ  බොන්න එපා " ගීතය ' බුදු තාත්තේ  බොන්න...බොන්න ' ලෙස ඇත්තටම ප්‍රතිවාදන වුනාද , එහෙම කතාවක් පුවත්පතක දැක්කද , නැත්නම් අපේ කෙනෙක්ගේ නිර්මාණයක්ද දන්නේ නැ . එත් ඒ කතාව අපේ අතර ප්‍රසිද්ධව තිබුන.( මේ කියන්නේ අපහාසයකට නෙමෙයි මම එදත් අදත් නන්දා මාලිනි මහත්මියගේ ගීත වල උග්‍ර රසිකාවක්.) 
මේ කාලේ ශා.ඇලවීශියෂ් විදුහලේ බාලදක්ෂ ජම්බෝරියක් තිබුණා. සහෝරද පාසල් වල බාලදක්ෂ බාලදක්ෂිකා කණ්ඩායම් වලටත් items ඉදිරිපත් කරන්න ඉඩ ලැබුණා. එයට අපි ඉදිරිපත් කලේ  ප්‍රහසන නාට්‍යයක් ..ඒ සඳහා එක් 
අවස්ථාවකට මේ පරති වාදන ගීත කාණ්ඩය යෝජනා කලේ මම .බාලදක්ෂිකා නාට්‍ය කතාව , දෙබස් , තිර රචනය , නිෂ්පාදනය, අධ්‍යක්ෂණය වගේම වේශ නිරූපන්යත් කලේ අපිම නිසා මේ කොටස් යොදා ගැනීමට ගැටළුවක් වුනේ නැ. එත් කවුද පලුදු වුනු තැටියක්  වාදනය වනවා වගේ ගැඹුරු හඩින් මේක කියන්නේ ... නන්දා මාලිනි මහත්මියගේ ගීත ගයන අය, හොඳ කටහන්දක් තියෙන අය බොහෝ හිටියත් තාක්ෂණ දෝශයක දී ඇති වන හඬ ගැහැණු හඩකින් හොඳින් ගන්න බේරී බව තේරුණා ..අපිට අවුරුද්දක් වැඩිමල් බලදක්ෂිකාවෝ  එදා වැඩසටහන ඉදිරිපත් කරන ඇලවීශියෂ් විදුහලේ  ගැඹුරු හඬක් තියෙන අය්යා කෙනෙකුට කොන්තර්තුව භාර දුන්නා...මන් හිතන්නේ උසස් පෙළ පංතියේ ශිෂ්‍යයෙක් වෙන්න ඇති...ඇලවීශියෂ් විදුහලේ  ශාලාව තමයි ඒ දවස්වල බැල්කනි එහෙම තිබුණ ගාල්ලේ පාසලක තිබුණ ශාලාව ...ශාලාව පිරෙන්න බාලදක්ෂ බාලදක්ෂිකා කණ්ඩායම් ...අපේ නාට්‍ය ආරම්භ වුණා ..බුදු තාත්තේ  බොන්න...බොන්න ' ලෙස  ප්‍රතිවාදනය වෙන අවස්ථාව අවා..වැඩේ භාර දුන්න අයියගෙන් සද්දයක් නැ ..මතක් කරන්න හිටපු අපේ කෙනාටත් නාට්‍යයේ සිහියෙන් මේ දේ අමතක වෙලාද කොහෙද ..වේදිකවේ උඩ හිටපු මන් සහ අනිත් අය  අසරණ වෙලා ...අපේ අක්කලා ටිකක් වහාම ඉදිරිපත් වෙලා පුළුවන් තරම් හඬ ගැඹුරු කරලා බොන්න බොන්න කිව්වා.යාන්තම් ඒ දර්ශනය ඉවර වුණා විතරයි ... මෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඉතා ගැඹුරු හඩින්  "බොන්න බොන්න " කියනවා ...වේදිකවේ හිටපු කෙනෙක් ඇතුලට දුවල වැඩේ නැවැත්තුව ...පිට පළාත් වල බලදක්ෂයන්ට කෙසේ වෙතත් අපේ පළාතේ  අයට නම් වැඩේ තේරුණා වුනත් ශූ සද්ද කිහිපයක් හැර වෙනත් දරුණු ප්‍රතිචාර නොලැබුණේ  තමන්ගේ පළාතේ කෙල්ලෙඔ ටිකක් පිට පළාත් වල අය අතර සවුත්තු නොකළ යුතු බව හිතිලා වෙන්න ඇති..අපි පොඩිවුන් නිසා ඊට පස්සේ වුනත් අවුලක් වුනේ නැ...එත් උසස් පෙළ පන්ති වල අක්කලට නම් මේ සඳහා පසු ප්‍රතිචාර ලැබෙන්න ඇති ...අපේ  නාට්‍ය වැඩ සඳහා  third party  contract දීම   අපි නැවැත්තුවේ  මේ සිද්දියෙන් පස්සේ මිසක් "කාන්තා විමුක්තිය " වගේ සංකල්ප නිසා නෙවෙයි .

Tuesday, November 26, 2013

Take me home country Roads...


ලිවීමට බොහෝ දේ ඇතත් කලකට පෙර ඉතා ප්‍රිය කළ ගීතයක් ගැන ලියන්න හිතුනේ මගේ මිත්‍රයෙක්  සමග වූ සන්වාදයක් නිසා..සංගීතයට ඇල්මක් දක්වන මේ මිතුරාගෙන්  මා ප්‍රියතම ගායකයා කවුද කියල ඇහුවේ දිවුල්ගනේ, වික්ටර් , සුනිල් එදිරිසිංහ වගේ පිළිතුරක් බලාපොරොත්තුවෙනුයි ..එත් ඔහු ගත් කටටම කීවේ  Jhon Denver කියලා Country Roads කියලා ඌන පූරණයක් දැම්මේ මගේ සංගීත දනුමේ තරම හොදින්ම දැන හිටි නිසා වෙන්න ඇති . ගායකයා ගැන දැනුම අඩු වුනත් ගීතය නම් ඉස්කෝලේ යන කලේ ඉඳලා කටේ තිබුන අහන්න ආස එකක් .. ගීතය ආරම්භ වෙන්නේ මෙහෙමයි ...

Almost heaven, West Virginia

Blue Ridge Mountains, Shenandoah River

Life is old there, older than the trees

Younger than the mountains, blowing like a breeze
 ඉස්සර හොස්ටල් එකේ ඉඳලා සිකුරාදාට ගෙදර එද්දී  බෙන්තර පාලම පාස් වුන ගමන් මට හැමදාම ලොකු සතුටක් දැනුනා...අධි වේගී මාර්ග නැති ඒ කාලේ ගෙදර යන්න තව පැයකටත් වඩා කාලයක් ගියත් දැන් අපේ ගම තියෙන දිස්ත්‍රික්ක සීමාවට ආවම දැනෙන්නේ අමුතුම හැගීමක් ...Denver කියන West Virginia දැකලවත් නැති මට  Shenandoah River වෙනුවට  බෙන්තර ගඟ ආදේශ වුන ..Blue Ridge Mountains වගේ නැතත් අපේ ගෙදර තියෙන පොඩි කඳුගැටයත් මට දිව්‍ය ලෝකයක් තමයි ...හැම ගමකම කෙනෙකුට මේක තමන්ගේ ගමට ආදේශ කරගෙන රස විදින්න හැකිවීම විශේෂයක් ....

 අවුරුද්දක් පිට රට ඉඳලා ලංකාවට එන දවසට  කලින් දවසේ මගේ FB status update එක වුනෙත් මේ පොස්ට් එකේ මාතෘකාවේ තිබෙන ගීත කණ්ඩයමයි ...
Country roads, take me home

To the place I belong
West Virginia, Mountain Mama

Take me home, country roads
.Bukit Jaleel ඉදන් KLIA එන අධි වේගී  මාර්ගය හොඳටම slow කියලා දැනුනෙත් flight duration එක හරි දිගයි කියලා  දැනුනෙත් එදයි...

අදත් මේ ගීත කණ්ඩය ඇහෙන විට මගේ සිත යන්නේ ගමට ..ඒ වගේම ගෙදරට ලන්වෙන්කොට දැනෙන ඒ හැගීම අදටත් විස්තර කරන්න බැ

 Denver ගීත වලින් මා කැමතිම අනිත් ගීතය " Leaving on a Jet Plane" .....දෛවයේ සරදමකට වගේ John Denver
මිය ගිහින් තියෙන්නෙත් ගුවන් අනතුරකින්මයි ... එත් ගමින් හමන සුළගත් සැපයි කියන ලෝකේ කොහේ හිටියත් උපන් ගමත් එක්ක  හිතින් බැදෙන දහසක් දෙනාගේ හිතේ Denver
ගේ හඬ සදා අමරණීයයි ...
 
Lyrics:
Almost heaven, West Virginia
Blue Ridge Mountains, Shenandoah River
Life is old there, older than the trees
Younger than the mountains, blowing like a breeze

Chorus:
Country roads, take me home
To the place I belong
West Virginia, Mountain Mama
Take me home, country roads

All my memories, gathered 'round her
Miners' Lady, stranger to blue water
Dark and dusty, painted on the sky
Misty taste of moonshine, teardrop in my eye

Chorus

I hear her voice, in the morning hour she calls me
The radio reminds me of my home far away
And drivin' down the road I get the feeling
That I should have been home yesterday, yesterday

Chorus x 2
  • 

Saturday, November 16, 2013

Do the Paap Poap

මා නිරංජලා මිස් ගේ elocution පන්ති ගියේ 1 වසරේ සිටය. මේ පන්තියේ ගාල්ලේ විවිද පාසල් වල මෙන්ම විවිද පන්තිවල සිසුන්ද විය . අපේ පන්තියේ පොඩ්ඩන් වූයේ අපිය . අපි යනු මා , නිරෝෂා වැන්නවුන්ය.සැම දිනකම ඈ පන්තිය ආරම්භ කරන්නේ "Do... the Paap Poap" කියාය. ඉංග්‍රීසි උච්චාරණය සඳහා කට හුරු කිරීමට පවතී මේ අභ්‍යාස ඒ දිනවල නම් මට අපබ්‍රන්සයක්ම විය. ඊට පසුව මිස් පන්තියෙන් ප්‍රශ්න අසයි . ඇගේ සමහර ප්‍රශ්න මුරලිදරන්ගේ "දුස්රා පන්දු " මෙනි. පාසැල තුල වැඩිපුර ඉංග්‍රීසි භාෂාවට නැඹුරු වාතවරනයක් පවතී නිසා කොන්වන්ට් එකේ ළමයින් නම් මේ පන්දු වලට 6-4 ප්‍රහාර එල්ල කළහ . සේව්වන්දී , කිෂානි වැන්නවුන් " master blaster"ලා වෙද්දී මා නම් සැමවිටම කලේ පාදය පසු පසට ගෙන ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කිරීමයි. එත් බොහෝ අවස්ථාවලදී මගේ wicket එක මිස් නිරංජලා විසින්අඩු ලකුණු ගණනකදී දවා ගන්නා ලදී .කෙසේ වෙතත් local exam එකේ examiner මෙන්ම සුද්දකු වූ London exam එකේ examiner ද මිස් නිරංජලා මෙන් උපක්‍රමශීලී පන්දු යවන්නන් නොවූ නිසා හෝ ඔවුන් අප කෙරේ අනුකම්පාවෙන් බලු නිසා exam වලදී නම් අපි අත දිග හැර ලකුණු රැස් කලෙමු. මේ පන්තිය නිසා පාසලේ ඉංග්‍රීසි පාඩමේදී පොරවල් වීමටද අපිට හැකිවූයේ පාසලේ 3 වසරේ දී කල " Radient Way-First step" එක අපි ඊට වසර 2කට පෙරම elocution පන්තියෙදී නිමකර තිබීමයි . අද මිස් නිරංජලා කොහේ ඉන්නවාදැයි දන්නේ නැත .එත් පසු කලෙක සබකෝලයෙන් තොරව නිවැරදිව ඉංග්‍රීසි කතා කිරීමටත් උච්චරණයටත් මේ "Do the Paap Poap" එක උපකාර වූ බැව නම් කිවයුතුමය.

Thursday, November 14, 2013

ආකාස පාලමේ සිට ශ්‍රී පෙටාලින් දක්වා...


මා කුඩා කල දුම්රිය නැරබීමට දැක්වූයේ දැඩි කැමැත්තකි . මගේ නිවසට දුම්රිය දර්ශනය වුවද  එකල මා වඩා ප්‍රිය කලේ ආකාස පාලමේ සිට කෝච්චි බැලීමටයි ..එදවස  tution පන්ති වලින්ද පෙම්කරන්නද සුලබ නොවූ  හෙයින්  කැනල් පාර දිගේ පයින් ගොස් ආකාස පාලමට නැග  අවුරුදු 3-4 ක් වූ මට කෝච්චි පෙන්නීම අපේ තාත්තාට ගැටළුවක් නොවන්නට ඇත. දුර ගමනක් යනවිට බුස් එකට  නැග ටික වෙලාවකින් වමනය දමන මා රැගෙන අපේ අම්මලා කොළඹ ගියේම කෝච්චියෙනි. දෙමාපියන් රජයේ සේවකයන් වූ නිසා හිමිවූ වොරන්ට් එක නිසා මෙය ආර්ථික වශයෙන් ලාබදායක වන්නට ඇත . අධිවේගී මාර්ග තියා semi luxury වත්  ගැන අසා නොතිබූ ඒ කාලයේ කෝච්චියෙන් කොළඹ යාම අපට මහා චාරිකාවක් විය .ගාල්ල ස්ටේෂමෙන් කෝච්චියේ සීට් ඇල්ලීමට  එය නැවත්වීමට පෙර නැගීම හෝ කෝච්චියේ ජනේලයෙන් ආසන මතට බෑග් දමන මගීන් අතර තෙරපී කෝච්චියේ වාඩිගත් පසු අප පසු කර යන ගස් දෙස බලමින් කොලඹ යාම එකල ආශ්වාදනීය අත්දැකීමක් විය.
දෙමාපියන් නොමැතිව  මුලින්ම කෝච්චියේ ගියේ නම බාලදක්ෂිකා කඳවුරකට සහබාගි වී "රජරට රැජින" ගෙන් ගාල්ලට ඊමේදීය . එදා නම් කෝච්චියේ අදිපත්‍ය අතට ගත්තේ අපේ කෙලි නඩයයි .
විශ්ව විද්‍යාලයට ගිය පසු A/C බස් පැමිණීමත්  එවකට නේවාසිකාගාර ගාල්ල -කොළඹ බස් මාර්ගයේම පිහිටීමත්  නිසා කෝච්චියේ ගියේ කලාතුරකිනි. නැවත කෝච්චියේ හිතේ හැටියට ගියේ මැලේසියාවේ අධ්‍යාපනය ලබද්දීය. අපේ නේවාසිකාගාරයේ සිට ශ්‍රී පෙටාලින් දුම්රිය පොලට ඇත්තේ කෙටි දුරකි. ගුවන් යානයක මෙන් දුම්රිය පදවන්නා මගීන් පිළිගෙන ඉංග්‍රීසි සහ මැලේ බසින් ගමනාන්තය  කියන මේ දුම්රිය මෙන්ම  Re-Usable ටිකට් ද මුලදී අපට ගොඩයට මැජික් විය . අපි ෂොපින් ගියෙත් පන්සල් ගියෙත් වතාවක් ගුවන් තොටුපොළේ සිට අවෙත් දුම්රියෙනි. ( Monorail, KTM, LRT, Express, උමං දුම්රිය මේ මොනවා වුනත් මට නම් කොච්චිමය.)
කුඩා දැරියක හැමදාම හවසට  ඉතා අඩු පහසුකම වලින් යුත් කෝච්චි නැරබීමට ගිය මම පසු කලෙක   සේවා කාලය තුල ලද පළමු පන්තියේ වොරාන්ට් 3 කිසිම වෙලාවක බාවිතා කර නැත . යුද්දය නිසා ඇතිවූ බෝම්බ බිය හා තනිව ගමන් බිමන් යාමේදී හදිසි දෝෂයකදී වෙනත් දුම්රියකට නැගීමට හෝ මහා මාර්ගයකට යාමට අපහසුව මෙයට මූලික හේතු වන්නට ඇත. A/C, නරබුම් මැදිරි  පහසුකම් ඇතිව  දුම්රිය සේවාව නවීකරණය වී   ඇති බැවින්  ඉදිරියේදී නම් යන්නට සිතා සිටිමි. එහෙත් එදා ආකාස පාලමේ සිට දුම්රිය බලා සතුටු වූ දැරිය වෙත ආපසු මා ගෙන  යාමට නම්  විදුලි දුම්රියක් වුවද අසමත් වනු ඇති බව නම් දනිමි.

Monday, November 11, 2013

The Doll song

Doll Song එකට අපි සම්බන්ද වූයේ 4 වසරේදීය . අපේ ඉංග්රීරසි ගුරුතුමිය වූ ජයවර්ධන මහත්මිය එය පුහුණු කළාය . බෝනික්කන් පිරිසක් විසින් කියන ගීතයක් වූ ඒ සඳහා ගුරුතුමිය විසින් සිසුවියන් තෝරාගත්තේ ඉදිරිපත් කිරීමේ දක්ෂතාවම සලකා බැවින් තලෙළු සමක් තිබූ මට මෙන්ම මටත් වඩා අඳුරු සමක් තිබූ බෝනික්කියන් වීමේ අවස්ථාව උදාවූ බව පවසන්නේ ඇයට ගරු කිරීමක් වශයෙනි. කෙසේ වුවත් English Day එකේදී නම් පාට පාට Make up දමා අප බෝනික්කන් සේම සැරසු බව නම් තවම මතකය . වේදිකාව ඇරෙන්නේ බොන්නිකන් පහත ගී කණ්ඩය ගයමින් පැමිණීමත් සමගය..
Tramp Tramp Tramp Tramp here we come along ..
Tramp Tramp Tramp Tramp dolls to nothing wrong
මේ ගීතය කොතරම් ජනප්රිaය වූවාදැයි කියනවානම් ප්රාකථමික අංශයේ පමණක් නොව විද්යා්ලයේ පැවති වෙනත් concerts රාශියක් සඳහාද අපි බෝනික්කන් වීමු . මහජන දර්ශනයක්ද පැවතී එක වරෙක අපි එක දිනක් තුල 3 වරක් මෙය ඉදිරිපත් කළෙමු . අපි 6 වසරට එත්ම dollsලා වයසින් මෙන්ම සිරුරින්ද වැඩීම නිස හෝ වෙනත් ගීත පාසැල තුල ජනප්රිළය වීම නිසා මේ ගීතය ඉදිරිපත් කිරීම ඉබේම නැවතී ගියේය .

එදා මා සමග එකම doll house හි සිටි වින්දනී පාසල් වියේදීම ජීවිත වේදිකාවෙන් බැස ගියේ හදිසි රෝගී තත්වයක් නිසාය .ටීනා පාසල් වියේදීම විදේශයක පදිංචියට ගිය අතර අද කොහි සිටිනවදැයි නොදනිමි. මාර්ක් සකර්බර්ග් ට පින් සිදු වන්නට ආශිනි , නිලුක්ෂි, මනුරි , දිනුෂි , සරිතා , දසුනි, දිනුෂි තුලානි වැනි බෝනික්කන් නම් තවම මා සමග මූණු පොතෙන් ගනු දෙනු කරයි

Sunday, October 27, 2013

A-2...



මුත්තය්යා  පාරේ පිහිටි  අප විශ්ව විද්‍යාලීය නේවාසිකාගාරය වෙත මා  මුල්ම දිනයේ  ගියේ තරමක චකිතයකිනිඅපේ කාමරය A -2 විය. නවක වදය පිලිබඳ සැකයෙන් එහි ගිය අපිට එහි සිටි ජේෂ්ට  අක්කලගෙන් ලැබුනේ නොසිතු  පිළිගැනීමකි .ඔවුන් cake  ගෙනවිත් තේ පිලියෙල  කර සාදයක් සූදානම් කර තිබුණි. මේ නේවාසිකාගාරයේ අප සිටි A -block  එක  luxury ය.එසේ වූයේ අනිත් block වල තිබුන කාමර විශාල ගණන වෙනුවට මෙහි කාමර 6 ක් පමණක් තිබීමත් නේවාසිකයන් 8 දෙනෙකු පමණ වූ කාමර වෙනුවට මෙහි කාමරවල 4 දෙනකු පමණක්   සිටීමත්ය . එයිනුත් A -block හි highly residential ම කාමරය  A -2ය. එනම් සර්ව රාත්‍රිකව  තෙකලා විදුලියය. අවුරුද්දේ  බොහෝ කලක් වැහි වතුර ඇඳ  ළඟය . ටිකක් හය්යෙන් හිනාවුනොත්  warden  දොර ළඟය

සර්ව රාත්‍රිකවම  A -2 හි විදුලි බුබුළු දැල්වී තිබුනේ මම  රෑ  වෙනතුරු පාඩම් කිරීම හා මගේ රූමි පාන්දරින්ම නැගිට පාඩම් කිරීම නිසාය ...විද්‍යා විෂයන් හදරූ ශිෂ්‍යාවන් රූපවාහිනිය  පුවත්පත් බැලීම දුලබ වුවද  එවකට සති පතා  විකාශය වූ හින්දි චිත්‍රපට  එකක් නැරබීම නිසා  මට කලා  හා නීති පීඨ වල ෆිල්ම් mates ල බොහෝ වුහ . රු .10ක් පමණ  වූ රෑ  කෑම  token උදෙන්ම ගැනීමත් නැවත රාත්‍රී පිගානට තබා hostal  canteen එකට දී බත් බෙදන තුරු ඔහේ කියවමින් හෝ රූපවාහිනියේ එවෙලේ විකාශය වූ  ඕනෑම දෙයක් නැරබීම අපේ එදවස පුරුද්ද විය . බත් පිගන් මාරුවීම් , පෝලිමේ  රණ්ඩු  බෙහෙවින් සුලබ විය . ජංගම දුරකථන සුලබ නොවූ එකල අපි නිවසට කතා කලේ නේවාසිකාගාර භූමියේ තිබු Super card box එකෙනි.මල් කඩන්නියන් සුලභ වූ නිසා නිවසට හදිසි පණිවුඩයක් දීමට වුව අඩු වශයෙන් පැයක් වත් පෝලිමේ   රැදී සිටීමට  සිදු වීම  සාමාන්‍ය දෙයක් විය . නේවාසිකාගාරයේ පොදු දුරකතනයට නිවසේ අයට  call  ගැනීමට අවස්ථව ලැබීම කණ  කැස්බෑවා  විය සිදුරින් අහස බැලීමටත් වඩා  දුර්ලභ වූ අතර A -block  එකට  සුරංගි  යන නමට call  යයි කීවොත් ඒ සඳහා දිවීමට 4 දෙනෙක් සැදී පැහැදී සිටියහ . ඒ සුරංගි , සුරංගා , සුරංගිකා  හා සුරංගනී ලෙස" සුරංගි " ප්‍රභේද 4ක් එහි සිටි නිසාය . අසල Moor  ක්‍රීඩාන්ගන්යේ  හි සංගීත සංදර්ශනයක්  ඇත්නම් තාප්පය අයිනට ගොස් සවන්දීම Cricket match එකක් ඇත්නම් study hall  එකට යාම  (ක්‍රීඩාන්ගන්යේ තණ  තිල්ල  හොඳටම  දර්ශනය වූ යේ study hall   එකට ය)  very  studious අපි මෙහෙදී  සිදු කල  ක්‍රියාය. එදවස මා  ඇඟිලි ගනිමින් සිටයේ සිකුරාදා හෝ vacation  එනතුරුය . ඒ A -2 වලින්  ගැලවීමටය . නමුත් මගේ  ජීවිතයේ  හොඳම කාලයෙන් වසර 3ක් ගත කල A -2 මතකය  අදද සුන්දරය ... කණගාටුවට කරුණ නම් A -2 වෙත  නැවත යාමට නොහකී වී මයි..ගියත් නැවතීමට නම් කෙසේවත් නොලැබීමයි... 

Thursday, October 10, 2013

තක්ෂිලාවේ ..ඔබයි සියපත


ගුරු ගීතය මුලින්ම කියෙව්වේ අටේ පන්තියේදී ..ඒ යාළුවෙකුගෙන් ඉල්ලගෙන ..එත් එදා දැනුනේ නැති තරමට ඒ කතාව ගැන සංවේදී වුනේ 10 පන්තියේදී සාහිත්‍ය උත්සවයකදී  තෑග්ගක්  විදියට ඒ පොත ලැබිල කියෙව්වමයි. ඒ ඒ වෙනකොටත්  ඉතාම නිහඩ ළමයෙක් වූ  මගේ මන් වත් නොදැන සිටි දක්ෂතා ගොඩක් අපේ පාසලේ ගුරුවරු හදුනා ගෙන සිටි නිසයි . පසු කලෙක කෙටි කලක් ගුරු වෘත්තියේ යෙදුනත් සම්පත් අනුන දරුවෝ සිටි ඒ පාසලේ  අල්තීනායි ල හිටියේ නැති තරම් ..එත් "හරි පුදුම ඉස්කෝලේ " පොතේ සිටි ටෝට්ටෝ චන් ල නම් හිටියා ...ඒ දරුවන්ටත් ගැටළු තිබුණ .ඇති තරම් මුදල් වියදම් කරත්  දරුවන්ට සතුට දෙන්න ඕන බොහොම සරල දේවල් ටිකක් කියල දන ගත්තේ එහෙදි....

 

එත් ඇත්තටම දුයිෂෙන්ලා දැක්කේ අද ඉන්න තනතුරට ආවට පස්සේ ...සම්පත් නැහැයි කියලා දොස් කියා කිය ඉන්නේ නැතිව තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරන් තම පාසලට වගේම ප්‍රජාවටත්  සේවය කරන  අය  හමුවෙලා ..ඒ ය කරපු විශ්ව කර්ම  වැඩ දීසින්ම දැකල තියෙනව.. ඒ වගේම ඒ අයගේ කැපවීම නිසා කලේ පිපිලා කළෙම පරවෙලා නොගිහින් සුවද විහිදුවන් අල්තීනයිලත් හමුවෙලා තියෙනවා....ඉඳ  හිට  අහන්න දකින්න ලැබෙන සිද්දි නිසා ගුරු සේවය පිරිහිලා කියන්න ඉක්මන් වෙන්න ඕනේ නැ ... කොහොමත්  හොඳ දේට ප්‍රචාරය අඩුයි...

 

ගුරු  දිනයදා  ලියන්න ඕනේ සටහනක් අද ලියන්නේ එදා ජාතික ගුරු උපහාර වැඩසටහනේ සංවිධාන කටයුතු නිසා විවේකයක් නොතිබූ  නිසයි ..මේ සටහන අවසාන කරන්නේ එදා ඇසුණු ගුරු අභිමන් ගීයෙන්...සෞන්දර්ය අධ්‍යක්ෂ  තුෂාර ගුණතිලක මහතා රචනා කළ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා සංගීතවත් කර සිසු පිරිසක් සමග ගායනා  කරන මේ ඊට  කලින් අසා  තිබුනත් අසන හැම වරකම පුදුම ගෞරවයක් , භක්තියක් සිතට එනවා ...

දුලබ මුතු කැට  ලොවට වඩනා

අමිල ගුණ  මිණි  බබළනා

සතර දෝවනා ... තක්ෂිලාවේ ..ඔබයි සියපත

ගුරු මෑණියනි ..ගුරු පියාණෙනි ...

Friday, October 4, 2013

Necto & Friendship

 

 

Necto  බාල  කාලයේ  සිට  මගේ  ප්‍රියතම බීමයි . එකල එකල  මා  පාසලේ සිට නිවසට කැදවාගෙන ආවේ සීයාය .ඒ පසුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වූ  එවකට ගාලු මහජන ක්‍රීඩාංගනය මැදින්  වූ short  cut  එකෙනි .ක්‍රීඩාංගනයේ  පසු කලෙක තණ තිල්ල වූ හරියට එනවිට මට Necto බඩගිනි ඇතිවේ . මගේ ඉල්ලීම්  බරපතල උද්ගොෂණයකට පෙර සැමවිටම සාමකාමීව  ඉටු විය . පසු කලෙක පශ්චාත් උපාධිය සදහා ශිෂ්‍යත්වයක්  ලැබ  මැලේසියාවට එන විට  Necto බෝතලයක් ගෙන ආවේ  අවුරුද්දක්ක්ම එය  නොලැබීමේ  දුක තුනී කරගැනීමට ය . එහෙත්  Necto  බෝතලයට  පින් සිදු වන්නට මට බොහෝ වටිනා මිතුරියක් ජීවිතයට එක්  කර ගත හැකි විය . ඒ මන් හිස්  Necto බෝතලය   ටික දිනක් වතුර ගෙනයාමට  භාවිත කල නිසාය .
එවිට මම මැලේසියාවට පැමිණ  මාසයක් වත් නැත . මා  සමගම පශ්චාත් උපාධිය සදහා ශිෂ්‍යත්වයක්  ලැබ පැමිණි  උදාරා අක්කා හා මම  විශ්ව විද්‍යාලීය lower ground canteen එකේ  අපේ බඩු තබා කෑම බෙදා ගෙන එනවිට දිග කොණ්ඩයක් හා පාංශු දේහදාරී සිරුරකට උරුමකම් කී ඉන්දියානු ස්වරූපයේ තරුණියක් බෝම්බයක් නිෂ්ක්‍රීය කරන්නට සැරසෙන හමුදා භටයෙකු සේ විමසිල්ලෙන් නිරීක්ෂණය කරමින් සිටියාය . අපි ශ්‍රී ලංකාවෙන්ද යන්න විමසු ඇය තමාද 100% Sri Lankan  බව පවසා එදා සිට අපේ Mango friend විය .( මැලේසියාව Mango වලට වඩා රඹුටන් වලට ප්‍රසිද්ද නිසා  මෙය "රඹුටන් friend " ලෙස සංශෝදනය විය යුතුය..) මේ 3න්  යහළු වික්‍රමය ඉන් පසු "China  Town "," Musjid India " හරහා  නිතරම සැරිසැරීම සුලබ දසුනක් වූ  අතර weekend eke "Vista A -2- 16 " හි සිට මොනවා හෝ දෙයක්  රත් කර බඩට දමාගෙන  "Bukit Jalil " චන්ද කොට්ටාශයතුල වූ දැවෙන ප්‍රශ්න සාකච්චා කරමින් සිටීම සාමාන්‍ය දෙයක් විය

අපි  ලංකාවට පැමිණි පසු ඇ ද අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර  ලංකාවට පැමිණියත්  විවාහයෙන් පසු  නැවත විදේශගත විය . ඔෆීසියටම පැමිණ මගුලට ආරාධනා කලත්  හරියටම ඒ දිනවලම කෙටි කලකට රට යෑමට  සිදු වූ නිසා සහභාගී වීමට නොහැකි විය . මා නැවත එනවිටම වාගේ  ඔවුන්  දිවයිනෙන්  පිට වීම නිසා මූණු පොතෙන් හැර ඉන් පසු දකින්නටත් බැරිවිය .එත්  එදා Necto  බෝතලයදෙස  බලා  සිටියාටත්  වඩා  විමසිල්ලෙන්  මගේ Profile  දෙස  බලා  සිටින  ඇ මගේ  හැම update එකකටම like ,comment දමයි . තවමත්  මගේ කාමරයේ  මේසය උඩ  ඇති  සහභාගී  නොවූ Wedding  invitation  එකට අනුව  හෙට ඇයගේ ප්‍රථම විවාහ සංවත්සරයයි .Happy Anniversary Imesha & Sameera..!!!         

Thursday, October 3, 2013

සාරිය


 


 
 
 
මා  මුලින්ම සාරියක් ඇන්දේ මට අවුරුදු 17 දී පමණ මගුල් ගෙදරකට යාම සඳහාය . එය අම්මා විසින් ඇන්දවූ අතර මා  කල එකම ක්රියාව  වූයේ ඇය  කියන ලෙස එහාට මෙහාට හැරීම පමණි.  එයට  කලකට පසු campus hostel එකේදී Social එක වෙනුවෙන් එය ඇන්දවුයේ හොස්ටල් එකේ අක්කා කෙනෙකි. Batch photo ගන්නා  විට වනවිට හොස්ටල් එකේ සිටි අක්කලා වූ අපි අතුරින් සාරී  ඇඳීමේ ශිල්පය ප්රගුණ  කර සිටියේ 2කු  බැවින් උදේ 8.00 ගැනීමට නියමිත වූ Batch photo එක සදහා සාරී ඇඳීමේ කාර්යය සඳහා අවදිවූයේ පාන්දර 3ට බැව් නම් තවම මතකය. මම  එකල සාරිය මෙන්ම සාරි අදින රැකියාද අප්‍රිය කලෙමි.

විශ්ව විද්යාලයේ final year results ඒමටත් පෙර ලත් ගුරු පත්වීමට ( මෙය රජයේ පාසලක් නොවේ.) සාරිය ඇඳීම අනිවාර්ය වූ අතර එතන්දීද පිහිටට අවේ අම්මා සහ අම්මාගේ  සාරිය .රැකියාවේ  2වැනි දවසේ interval එකට පෙරම අම්මා අන්ද එවූ සාරිය එහෙන් මෙහෙන් එල්ලෙන්ට විය . එම පාසලේම සේවය කල මා උගත් පාසලේම ඉගෙනගත් දිෂානි අක්කා  මෙහිදී පිහිටට අතර  ඇය  Computer lab එකේදී නැවතත් මට සාරිය ඇන්දවිය . කෙසේ වෙතත් හැමදාම සාරිය ඇඳීමට අනුන් සරණ පැතීම සිදු කල නොහැකි නිසා මා බොහෝ වරක් උත්සාහ දරා  3 වැනි දින සිට තනියම සාරි ඇඳ පාසල් ගියෙමි. බොහෝ කලක් සාරි ඇඳීම නිසා විනාඩි 10න් සාරී ඇඳීමට තරම් කාර්යක්ෂම වී සිටිමි. සාරිය මෙන්ම සාරි   අඳින රැකියාද ප්රිය කල Campus එකේ මගේ රූමි සුරංගි පසු කලෙක සාරි නොඅදින රැකියාවක් තෝරා ගත්තාය . කර්මානුරූපව මට ලැබුනෙම සාරිම ඇඳිය යුතු රැකියාය .

අද නම් මූලික මිනිස් අවශ්යතාවක් වන " ඇඳුම් " යන්න මට දැනෙන්නේ සාරිය යන්නට සමාන පදයක් ලෙසය . කොතරම් තිබුනත් ඇති නොවන හැම මාසයකම අනිවාර්රෙන්ම ගන්නා තරමටම සාරීය දැන් මගේ ජීවිතය සමග බැදී  තිබේ. අද මම සාරිය මෙන්ම සාරි අඳින රැකියාද  ප්රිය කරමි