Wednesday, April 30, 2014

මෙහෙත් හරි වැස්ස ..



මේ දවස්වල හැමදාම හැමතැනම වැස්ස ..පොඩි කාලේ  කඩදාසි ඔරු පා  කරන්න වහිනකම්  ඉන්නවා . ඉස්සර වැසි දවස්වල ඉස්කෝලේ යන්න තෙමෙන්න ආසයි . දෙපැත්තෙන්  ලොකු ජනේල  තියෙන පන්ති වලින් හිරිකඩ එනවා එතකොට ඩෙස්ක් පේලි අතර ඉඩ නැති වෙන විදියට එකතු කරලා අපි පන්තිය මැදට ගුලි වෙනවා .  දැන් නම් වහිනකොට එලිය බහින්න එපා වෙනවා . වැස්සත් එක්ක  කණු අවහිර වෙලා පාරවල් යටවීම වාහන තදබදය මෙයට හේතු වෙන්න ඇති . ( නැත්නම් වැඩිහිටියන් විදියට වැස්සේ සෞන්දර්යය දකින්න විදින්න බැරි තරම් අපි busy  හෝ matured වෙලා ඇති .) වැස්ස  පදනම් කරගත් කවි කතා නාට්‍ය  ගීත දෙබස් බොහොමයි.  පුංචි කාලේ  කිව්වේ "Rain  Rain  go  away " කියලා ." එහෙත්  හරි වැස්ස ..මෙහෙත් හරි වැස්ස " දයානන්ද ගුණවර්ධන ශූරින් ගේ නරි බෑනා  නාට්‍යයේ එහෙම දෙබසක් තියෙනවා . "අපි සමුගත් පසු වසින්න"  කියල වැසි වලාකුලෙන් ඉල්ලන කාලෙකින් පෙම්වතිය හමුවන පෙම්වතකු ගේ සංකල්පනාවක් වික්ටර් රත්නායක මහතා ගයනවා .  "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ" අතීත මතක අතර ට යන්නේ රෝහණ වීරසිංහයන් .  තමා හැර  ගිය පෙම්වතා  නැවත පැමිණිම  "අකලට වට  මහ වරුසාවකට"  සමාන කරමින්    ගීයක් ගයනවා . "වැහි දිය මහා බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද? "කියලා   විශාරද දීපිකා  ප්‍රියදර්ශනී  පීරිස්  අහනවා .   එක  කුඩේ යටින් පෙරදා ගිය දැන් වැස්සේ මුවාවක් හොයන ස්වාමි පුරුෂයාට " මේ වහින්නේ එදා මල් වරුසාවමයි"  කියන්නෙත් ඇයමයි . " වැසි වසී  සුළන්  සැරයි -ඔබ තෙම්යි කියා බයයි"එඩ්වඩ් ජයකොඩි ශූරීන්ගේ ගීයක තිබෙන සංකල්පනාවක් .නොක්කඩුවකට පසුව කාන්තාවකගේ මුහුණ සම කරලා තියෙන්නේ ' මහ වරුසාවට පසුව නැගෙන හඳට ' . වචන හරඹයක පසු මුනිවත රකින කාන්තාවක කියන්නේ " මහ වැස්සක් බිමට හෙලා  නිදහස වූ අහසක් සේ " නිසොල්මනේ ඉන්න එපා කියලා .

වැස්සේ රූගත කල ගීතයක් හින්දි චිත්‍රපටි වල නම් අනිවාර්ය  අංගයක් . වර්ෂා  කියලා  නමුත් තියෙනවා . ඒ නමින් කියන නවකතාව මුලදී පොද වැස්සක් වගේ සෞම්‍ය  නිසා කියවන්න ආස  හිතුණත්  පස්සේ මුරුගසන් වරුසාවක් වගේ ඉවරයක් නැති නිසා කියවන්න තිබුණු ආසාව  නැති වුණා . කොහොම වුනත් වැස්ස එදා වගේම අදත් හෙටත් නිර්මාණකරුවන්ගේ සංකල්පනා වලට වස්තු විෂය වේවි .

Sunday, April 27, 2014

සියලු සයන්ස්කාරයෝ ..


මම සයන්ස්කාරයෙක්මි . ඒ A /L  bio  කළ  නිසාය . උසස් පෙළ විද්‍යා විෂයය ධාරා  හදරූවන් සයන්ස්කාරයෝ විය යුතු වුවත්  ජීව විද්‍යා විෂයය ධාරාව හැදෑරු  අය සයන්ස්කාරයෝවෙද්දී භෞතික විද්‍යා  විෂයය ධාරාව හදරූ අය  මැත්ස්කාරයෝ වූහ . ඒ කටවහරේ පහසුවටය . මේ සියලු  සයන්ස්කාරයෝ (සංස්කාරයෝ  නොවේ) A /L  පන්තියට එද්දී වෛද්‍යවරයෙක් වෙන්නට බලපොරොත්තු  වන්නට  ඇත . එත්  ඒ සිහිනය යථාර්තයක් වන්නට ඇත්තේ සුලුතරයෙක් සඳහා පමණි . සිහිනය ලකුණු 8කින් අහිමි වූ මා  විශ්ව විද්‍යලයේදී  vet , agri  අතහැර  bio කළෙමි . දැන් මෙන් නොව එකල bio   cut  off  එක තිබුණේ vet , agri වලට පහලය . මගේ පාරේ ම ගොස් ලකුමු වලට හිමි හෝ ඊට  පහල  වුවත් කැමැත්ත ඇති විශ්ව විද්‍යාල course  තෝරා  ගත්  යහළු  යෙහෙළියෝ බොහෝය . විශ්ව  විද්‍යාල  ප්‍රවේශයට ලකුණු මැදිවූ හෝ කැමති පාඨමාලා  හිමි නොවූ අය අංශක 90 කින් කරකැවී  Law  Entrance  කර නීතිඥයෝ වූහ . එසේ වී පසුව මහේස්ත්‍රාත්වරුන්   අයද මට මුණ ගැසී තිබේ . සමහරු CIMA /Charted  කර ගණකාධිකාරිවරු වුහ . වෛද්‍ය සිහිනය බිද දැමීමට අකමැතිම වුවෝ විදේශ වෛද්‍ය විද්‍යාල වලට  ගියහ ගියහ . සමහරු වෙනත් පාඨමාලා  සඳහා විදේශ ගත වූහ .  A /L  ප්‍රතිපල නිසා bio /සයන්ස්  එපාවූ සමහරු   අංශක 180 භ්‍රමණය වී Arts /Commerce  කර විශ්ව විද්‍යාලයටද ගියහ. අංශක  360 කින්ම  කරකැවී ත්‍රිවිධ හමුදාවට හෝ ඒ සම්බන්ද පාඨමාලා  වලට ගිය සහෝදර වරුද බෙහිවී .  (මින්  බොහෝ දෙනෙක් දැන් ඉහල නිලවල සිටිති )පාසලින් පසු විවද රැකියා මෙන්ම business  සඳහා ගිය අයද සිටී . සිහිනය බොඳ කර   

විශ්ව විද්‍යාල අදයපංයෙන් පසු තරඟ  විභාග සමත් වී ම මෙන් පරිපාලන සේවා හෝ දීප ව්‍යාප්ත සේවා ගිය අය  රැසකි . අපිට කලින් ගිය අය  රටේ මෙන්මන් විදේශ වලද ඉතා  ඉහල තැන්වල සිටිනු දැකීම සතුටකි .  උසස් පෙළ  ප්‍රතිපල මත වෛද්‍ය විද්‍යාලයට පිවිසීම අතිශය දුෂ්කරය . එය මම 
අත්දැකීමෙන්ම දනිමි . ඒ කදිම තරණය කර අද ඊටත්  ඉහල  විභාග සමත්ව රෝගී ජීවිත රැක ගන්නා  සහෝදර සහෝදරියන්ට ආචාර කරමි. නො පසුබට  උත්සාහයෙන්   නුහුරු රටකදී   දුක් විද තම  සිහිනය සැබෑ  කරගෙන  මෙරට හෝ පිටරට සේවය කරන වෛදවරුන්ගේද ධෛර්යය අගයමි . එහෙත් තමා  උසස්  පෙලට  හෝ විශ්ව විද්‍යාලේ උගත් දෙයට සපුරා වෙනස්  රැකියාවල සාර්ථකව නියෙලෙමින් මගේ නොවන මගේම සිහිනයක ඔටුනු පලන් සයන්ස්කාරයන්  ගැන නම් ඇත්තේ  සැබෑ  ආඩම්බරයකි .



Wednesday, April 16, 2014

ගම ගාල්ලේ....




මගේ ගම ගාල්ලේය .  වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියා කතාවක් ඇත .  යම් කිසිවකට මන් ඉතින් ගාල්ලේ නේ යි කී විට   තරමක් තරහ ගිය මගේ මිතුරෙක් කීවේ  ඔහුට ගමක් නැති බවයි . මව හා පියා වෙනස් ගම වල ඉපිද පියාගේ රැකියාව නිසා වෙනස්ම ප්‍රදේශයක ඉපිද කොළඹ  හැදී වැඩී  රැකියාව නිසා ලංකාවේ හැම තැනම ජීවත් වූ ඔහු කියන්නේ ලංකාවම තමාගේ ගම බවය . මා  දන්නා හැටියට  හැමෝටම ගමක් ඇත . එය උපන් ගම හෝ දිගු කලක් හැදුනු වැඩුණු ප්‍රදේශය විය හැක .  මා  මෙන්ම මගේ පියාද පියාගේ පියාගේ පියාද ගාල්ලේ ඉපදී හැදුනු වැඩුණු  පාරම්පරිකවම  මගේ ගම ගාල්ල  වී ඇත .  මගේ උප්පැන්න සහතිකයේ , හැදුනුම්පතේ මෙන්ම විදේශ ගමන් බලපත්රයේද උපන් ස්ථානය ගාල්ල ලෙසත් ගාල්ලේ මගේ නිවසේ ලිපිනයත් සදහන් වී ඇත . මා  ගාල්ල ජන්ද බල ප්‍රදේශයේ චන්ද දායකයෙකු නිසා ශ්‍රී ලංකා ප්‍රජන්තන්ත්‍රවාදී  ජනරජය ද මගේ ගම ගාල්ල ලෙස සලකයි . ඒ නිසා මම ගාල්ල මගේ ගම ලෙස සැලකීමට නීත්‍යානුකූල බාධාවක්ද නැත .
 මගේ සටහනේ  ගාල්ල ගැන  ලියවෙන්නේ මා  වැඩිපුර දන්නේ ඒ ගැන නිසාය . උදාහරණයක් ලෙස මහින්ද රිච්මන්ඩ් ක්‍රිකට් ගැටුම වෙනුවට රෝයල්  තෝමියන් ක්‍රිකට් ගැටුම ගැන ලියන්න මා  දන්නේ නැත .  මගේ ගමේ පාසල් කාලයේ  තොරතුරු ලිව්වත් ඒවා බේදයකින් තොරව වෙනත් ගම්  වල අයද  සියල්ලෝ රස විඳි බව මා  සමහර ප්‍රතිචාර වලින් දනිමි . ඒ ඔවුන්ගේ පාසල් වල අත්දක්කීම් හා බද්ද  කරගනිමිනි.  මා  ලියු  "take me  home  - country roads " සටහන ගමින් පිටවී ගම ගැන මෙනෙහි කරමින් වෙසෙන සියල්ලන්ම ගැන  සඳහන් කරමින් ලිවීමි . මා  ලියන්නේ මගේ සිතුවිලි නිසා එය ගම පැත්තට බරවීම ස්වාබවිකය .
මා  ජීවත් වී තිබෙන්නේ ගාල්ලේ හා කොළඹ පමණය . ගාල්ලේ ඉපදී හැදී වැඩුණු  මා  දෙපයින් සිට ගත හැකි කෙනෙක් කලේ කොළඹ ගෙන්දගම් පොලවයි .  ගාල්ලේ ඉන්න කාලයේ ගමේ යනවයි අපි අවුරුද්දට ගියේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මගේ මවගේ මහා ගෙදරටයි .මා  පාසල් කාලයේ සිට ජීවත් වීම අසා  කල නගරය නුවරයි . වඩාම  චමත්කාරයක් ජනිත කල නගරය නම් ත්‍රිකුනමලයයි . නැවත නැවත යාමට ආස හිතෙන්නේ යාපනයේය . දිස්ත්‍රික්ක විසි පහේම මගේ හිතවතුන් දන්නා අදුනන අය  සිටිති .

මාර්ටින් වික්‍රමසිංහ ශූරින් කොග්ගල පදනම කරගෙන් ලියු කතා ලංකාව පුරා  ප්‍රචලිත වූ අතර  මගේ  ප්‍රියතම නව කතා රචිකාවක්  වන සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ බොහෝ නවකතා රත්නපුරය ප්‍රමුඛ සබරගමු පළාත පදනම් වී ඇත . නිර්මාණයක රචිත ප්‍රදේශයේ හතර මායිම් බලනු වෙනුවට නිර්මාණය කියවා  රස විදින්නන්ට  ගාල්ලගැන තොරතුරු මේ සටහනේ අඩංගු වීම   එහි රසයට බාදාවක් නොවුණු ඇති බව මගේ විස්වාසයයි .(photo courtesy - Wikipedia)

Sunday, April 13, 2014

Shopping .....................




අවුරුද්දත් එක්ක ගාල්ලේ මහා වීදියේ වාහන ගමනාගමනයට බාදා  පාර  දිගටම ඇඳුම් ගොඩ ගහලා ... අවුරුද්දට   පෝලිමේ ඉඳලා කොළඹ සාප්පු වලින් ඇඳුම් අරගෙන ගෙදර ආවත්   මන් අවුරුද්ද   දවසට කලින් දවසෙත් රෑ වෙනකම්  අම්මත් එක්ක shopping  යනවා ..අම්මා  එක එක අයට  තෑගි ගන්නවා ..ඒ මන් විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ .......

Sale  ...15% වට්ටම්  තියෙනවලු ..office  එකේ යාලුවෙක් කියනවා ..මන් එතනට ගිහින් පෙට්ටි වල දාල තියෙන සපත්තු ඇද  ඇද  බලනවා ...අවුරුද්දට sale තියෙන බව පාරේ දැන්වීම් ගහලා තියෙන  garment  එකක්  අපි වැඩට යන පාරේ තියෙනවා . වැන්  එකේ ය හෙමෝම හවස ගෙදර එන ගමන් එතනටත් ගොඩ වෙනවා ... මගේ ළඟ තියෙන credit  card  වලට discount  දෙන  shop එකකට ගිහින්   ඇදුම් ගන්නවා ...ටිකක් ගණන් වුනත්  ලොකු ලාබයක් වුන නේද කියල හිත හිත ගෙදර යනවා ........ මාර්තු මාසේ පඩියත්  අවුරුදු නිසා මාසේ මුල ලැබෙන  අප්‍රේල් වැටුපත්  උත්සව අත්තිකරමත් දන්නෙම නැතිව ඉවර වෙනවා ...office  එකේ වැටුප්  දවසට තියෙන පොලෙත්  ලස්සන සාරී  තිබුනම ගන්න හිතෙනවා ..

මස්ජිඩ් ඉන්දියා  දුම්රිය ස්ථානයෙන් බැහැලා  පාර  මාරුවුනම තියෙන සාප්පු ටික ඉන්දියාව ක්වාලාලම්පූර්  වලට ගෙන්වා වගෙයි ..ඉන්දියන් සාරී , විලවුන් , ආලේපන , විසිතුරු මාල  පාර දෙපත්තේම තියෙනව ..මගේ ඇස්  වහන්න මං  උදාරා  අක්කට කියනවා ..එත් යනකොට දෙන්නම බරට බරේ මලු දෙකක් උස්සන් කෝච්චියට නගිනවා ..China  Town  වල බඩු  කියන ගානට වඩා  දෙගුණයක් අඩු කරලා ඉල්ලන්න ...හැබැයි ඒ ගානට අවොත් නොගන ඉන්න එපා ...ඒ අයට තරහ  යනවා විශ්ව විද්‍යාලයේ  මිතුරියක් කියනවා ...හවස් වෙනකොට තවත් ගාන  අඩුයි ඉමේශා  කියනවා ..අපි branded  name  තියෙන  ඒ විදියටම  හදපු බැග් china town  වලින් අරගෙන  එනවා ..අවුරුද්දකින් පස්සේ ලංකාවට එනකොට මැලේසියන්  එයාර්  ලයින් එකෙන් ගහන දඩය ගෙව්වම අතේ රිංගිට් සොච්චමක් ඉතිරි වෙනවා .... " මේ සැරෙත් දඩ නම් sure "convocation  එකට දවස් 2-3ට අවමත්  අපි දෙන්න ගන්න  බඩු  දැකලා   මැලේසියාවේ ඉන්න ශ්‍රී ලාංකික මිතුරෙකු වන  රුවන් කියනවා ..

සිංගප්පූරුවේ orchard  street එකේ LV , Dior  වගේ branded name  තියෙන සාප්පුවලට ගිහින් window  shopping  කරලා Mustapha එකෙන් තොග මිලට තියෙන බඩු  ගන්නවා ..

සරෝජිනී නගර් එකෙන් ලාබෙට සාරී  ගන්න පුළුවන් යාලුවෝ ඉන්දියාවේ යන මට කියනවා ..සම්මන්ත්රණය  සංවිධානය කල අයම  ඒකට එන අයට shopping  යන්න වාහනයක් දෙනවා .. පැයකදී මාගේ මගේ අතේ ඉන්දියන් රුපියල් ඉවර වෙලා සාරී  පිරෙනවා ..dollar මාරු කරන කඩයකින් සල්ලි මාරු කරන් අයෙත් ශෝප්පින්ග් කරනවා .. T  -shirt  එකක් විතරක් ගත්තු මගේ  මාලදිවයින් යෙහෙළිය ඇස්  උඩ  තියල බලනවා ..

මෙහෙන් ගන්න එපා Bali  වල බඩු  ලාබයි ..සුරබයා වල අත්කම් වෙළඳ සැලකින්  තෑගී  භාණ්ඩ  ගනිද්දී ඉන්දුනීසියානු විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් කියනවා ... මේවයේ බඩු  quality ද  කියල කියන්න බෑ ..බාලි  දූපත් වල  වෙරළාසන්න සාප්පු වල ඇවිද යද්දී  පලස්තීන සගයෙක් කියනවා ..මන් ඒ කතා අහන්නේ නැතුව තෑගි දෙන්න තියෙන අය  හිත හිත බඩු  ගන්නවා ...ලෝකේ හොඳම shoppers ල ඉන්නේ ලංකාවේ " ඒක දැකල කෙන්යානු මිතුරියක් කියනවා ..අවරුදු නොනගතය එනකම් සාප්පු වල තියෙන පෝලිම් දැක්කම ඒක ඇත්ත කියල හිතෙනවා ..පිටරටක ගිහින් ලංකාවට ආවම  හැමදාම තෑගී  මදිවෙනවා ...ලෝකේ හොඳම shoppers ල  වගේම ලෝකේ තෑගී දෙන්න වැඩියෙන්ම  කැමති අය ඉන්නෙත් ලංකාවේ කියල මට හිතෙනවා

Friday, April 11, 2014

කැවුම්...




අවුරුදු ලං වනවිට කැවුම් වලට ලැබෙන්නේ විශේෂ තැනකි . නිවෙස් වල කැවුම් පිසින්න්ටත් වෙලදපොලේ කැවුම් විකිනීමට තිබීමටත් අමතරව කැවුම් සිංහල හා හින්දු අවුරුද්දේ සංකේතයක් බවට පත්වී ඇත. වෙළද දැන්වීම් වලත් අවුරුදු සංකේත කරන චිත්‍ර හා උත්සව වලත් කැවුම් ඉදිරියෙන්ම සිටී . ම කුඩා කල මගේ ප්‍රියතම රස කැවිලි වර්ගය වුයේ කැවුම් ය . එකල අවුරුදු සමය  මට ප්‍රීතිමත් වීමට හේතු වූ විශේෂ කරුණ වූ යේ  ඔන්චිලි පැදීමට ලැබීමත් කැවුම් කමට ලැබීමත් නිසාය .  කීපයක් තිය අපේ ආච්චි කැවුම් බඳී .  ඒ කැවුම් ඉතා රසවත් වූ අතර නිවසෙන් පිට ලිපක් බැඳ සීරුවෙන් තෙල් හැන්ද හා කූර කරකවමින් කොන්ද කැවුම් සැදීමට ඇ ඉතා දක්ෂය . කූර ලෙස යොදා ගත්තේ පිරිසිදු පොල් ඉරටුවකි . කැවුම්  සාදා  ඒවා තෙල් බේරෙන්න තැබුවේ   එලන ලද කිරි ගොට්ට මතය . දැන් මෙන් plastic  සුලබ නොවූ එකල  කිරි ගොටු සද තිබුනේ වේවැල් පතුරු වලිනි  කේතු හැඩයටය . (ඒ  නිසාම  ගණිතය පාඩමේදී  කේතුවට සැබෑ  ජීවිතයේ උදාහරණ ලෙස කිරි ගොට්ට මතකයට නගා  ගැනීම අපහසු නොවිණි.  දැන් නම් කේතු ආකාර  කිරි ගොටු දුලබය.) සාදන විටම උණු උණු කැවුම්   තෙල් බේරුණු පසු කිරි   ගොට්ටෙන් ගෙන  මට දීම ආච්චිගේ සිරිතය . පසුව කැවුම් සියල්ල නැවුම් මුට්ටියක දම කඩදාසියකින් කට බැඳ   අවුරුදු එන තුරු තබයි .  ආච්චිගේ උකුලේ වාඩිවී  පිටි මිශ්‍රණයෙන් ටිකක්  දම පොඩි කැවුමක් තනියම සැදුව මතකය . සැදීම අමාරු කොන්ඩ කැවුම් හදන හැටි මට ඉගැන්න්වීමට සිත හිටි ආච්චි මා එතරම් ලොකු වන තෙක්  ජීවත් නොවීය . ආච්චිගේ මරණින් පසු අපේ ගෙදර කිසිවෙක් කැවුම් පිස නැත .  මුල් කාලයේදී ආච්චි මතක් වීම එසේ නොකලත් පසුව කාර්යබහුලත්වය , සැදීමේ අසීරුකම ,  වෙළද පොලෙන් කැවුම් මිලදී ගැනීමට හැකිවීම එයට හේතු වන්නට ඇත . වෙළඳ පොලෙන් ගත්තත් කාට  හෝ කියා පිස ගත්තත්  වෙනත් ස්ථානයකඩේ කෑමට  ලැබුනත් ඒ කිසිම  කැවුමක් ආච්චිගේ කැවුම් මෙන් රසවත් නැත . ආච්චි කැවුම් පිසිද්දී ඒ හා බැඳුනු කතාද කීවාය . කුස ජාතකය ගැන මට කියා දුන්නේද එබඳු අවස්ථාවකදීය .  නාට්‍යනුසරයෙන්  දක්වමින්  දෙබස් කියමින් ආච්චි කියන මේ කතා කැවුම් තරම්ම රසවත් විය . මා   තුල යම් නිර්මනශීලිත්වයක් ඇත්නම් එය පෝෂණය වන්නට ඇත්තේද ආච්චිගේ තුරුලේ මේ කතා ඇසීමෙන් විය හැක . කෙසේ වෙතත් ආච්චි  අලුත කැවුම කෑමට  ලැබෙන විට ඒවා ආච්චිගේ කැවුම් තරම් රස නැති බව අපි  සැවොම කීමු. දැනුදු සමහර විට කැවුම් කද්දී ආච්චි සිහිපත් කරන අවස්ථා වේ. කැවුම් කමට මගේ ඇති රුචිය නැතිවී ගියේ ආච්චිගේ මරණයත් සමගය . මා  දැන් කැවුම් කන්නෙම නැති තරම්ය .  කොළඹ නේවාසිකව සිටි කාලයේ මගේ කැවුම් වලට පෙර වූ රුචිය දන්නා අම්මා  කොහෙන් හෝ කැවුම් ලැබුනොත් එක කැවුමක් හෝ ම එනතෙක් සඟවා තබා ගත්තද එය කෑමට  වත් එතරම් ආසාවක් නොවිනි. බදින  විටම උණු උණු කැවුම් කෑමට  ජීවිතයේ ඉදිරියේදී අවස්ථාවක් ලැබෙයිදැයි සැකය . එසේ ලැබුණත්  ආච්චිගේ ඇකයේ සිට රස කතා අහමින් රස විදී කැවුම් නම් මතකයක් පමණය .