Wednesday, October 8, 2014

ජීවිතය හා බැඳුණු රුක් ..


පසුගිය posts  2-3 ම වෙන් වුනේ ගස් ගැන ලියන්න . අපේ ජීවිතයට සෙවණ දුන් අතීතය හා බැඳුනු ගස් ගොඩක් තියෙනවා . බුදු රජාණන්වහන්සේත් බෝධි වෘක්ෂයට අනිමිස ලෝචන පූජාවෙන් කළගුණ සලකල තියෙනවනේ ..එහෙම කරන්න පෘථග්ජන අපිට  බැරි වුනත් ඒ වගේම  ජීවිතයේ විවිධ කාල වලදී සමීප වූ , සෙවන දුන් ගස් ගොඩක් තියෙනවා. අපේ ගෙදර තිබුණු මහ කොස්ගස ..එකේ ගෙඩි කැඩුවම අහල පහල ගෙවල් 3-4ටම ඇති ..මුලින්ම ගහක කියල නැන්ග කරු සහිත දෙල් ගහ ...අපි ලිස්සන ලෑල්ලක් විදියට පාවිච්චි කල ඇදවුණු පොල්ගහ ..ඈත ඉදන් දුවගෙන් ගියාම ඒ පොගහේ මගක් දුරට යන්න පුළුවන් ..ඒ ගහ ඇලේට තිබුණු නිසා ..එතෙන්ට ගියාම මූදත් එකේ යන නැවුත් ..ඇතින් එත් හොඳට පේනවා...සීයා අපි තුවාල වෙයි කියල කොයිතරම් කෑගැහුවත් අපි ඒ ගහ දිගේ  නගින එක නැවැත්තුවේ නෑ ..
ඊට පස්සේ අපේ පාසලේ ප්‍රධාන  ගේට්ටුව ළඟ තියෙන මැයි ගහ ..පල්ලිය ඉස්සරහ තියෙන අරලිය ගහ ..සුදු අරලිය මලුයි ..රතු මැයි මලුයි  එකට වැටුනම  සුදු uniform ඇදල  රතු tie  දාපු අපි වගේමයි කියලයි ඒ කාලෙත් මට හිතුනේ.. අපි වැන්  එනකම්  හවසට යට  හිටිය කොටුවේ දෙල්ගහ .. ජ්‍යතයන්තර  ක්‍රීඩාංගනයක්   වෙන්න කලින් අපි ක්‍රීඩා උත්සව තියපු ගාලු මහජන  ක්‍රීඩාංගනය වටේ තිබුණු  කස ගස් පෙළ ...මේ හැම දෙයක්ම පාසල් කාලේ   මතක ...

ඊට පස්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය ඉදිරිපස තියෙන මහා නුග රුක ..උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපස තියෙන සල් ගස් ..අපි ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් කීදෙනෙකුට සෙවණ  දෙන්න ඇත්ද ?..

දැන් එතරම් අගයක් නැතත් ඉසුරුපාය ඉස්සරහ තියෙන පුංචි පුංචි කොළ හැලෙන මහා ගස් පෙළත් රස්සාවෙන් විශ්‍රාම ගිය කලක සොඳුරු මතකයක් වෙයි ...දැන් සෙනසුරාදට කිසිම හැගීමක්  නැතිව බලා හිටියත්  KDU  එක පිටිපස ගේට්ටුවට  මුහුණලා තියෙන 4 වෙනි තට්ටුවට පේන  හැමදාම කපුටු කූඩුවක් තියෙන නම නොදන්නා ගහෙත් අගය දැනෙන්නේ  එක මතකයක් විතරක් වුන දාට ..
ගස් ගැන ගොඩක් දේ ගොඩක් දවස්  ලිව්වා ..කොඉත්රම් රසවත් දෙයක් වුනත් නැවතීමක් නැති වෙනකොට එක එපා වෙන්ව ..හරියට සිංහල හඬ කැවූ  ඉන්දීය මෙගා නාට්‍යයක් හරි වර්ෂා නවකතාව වගේ හරි වෙනවා ..ඉතින් ජීවිතය හා බැඳුණු රුක්  ගැන සටසන් පෙළ මෙතනින් නවත්තන්න  හිතුවා ..

Saturday, October 4, 2014

මේ මැයි ගහ යට දවසක්දා ....



මේ මැයි ගහ යට සින්දුව කියන්නේ මිල්ටන් මල්ලවආරච්චි මහතා ..එත් අපි නම් මැයි ගහ යට දවස් ගණනාවක් අවුවට වැස්සට ඉඳල තියෙනවා ..ඒ අපේ පාසලේ ප්‍රධාන ගේට්ටුව ඉස්සරහ තියෙන මැයි ගහේ ...අපි සමහරවිට හවසට පාසලෙන් පිට වුනේ මේ ගේට්ටුවෙන් ..හවස පන්ති , practices , guiding ඉවරවෙලා දෙමාපියන් එනකන් හිටියේ මැයි ගහ යට .( හවසට ඉස්කෝලේ ළඟටම වාහන  වලට එන්න දෙනවා.)  ගහ වටේ තියෙන කොන්කීට් බැම්මේ අපි වාඩි වෙලා ඉන්නවා .නැත්නම් සෙල්ලම් කරනවා .කාලෙකට මේ ගහ අපේ ටයි පටියේ පාටම වූ රතු පාටින් මල්බර වෙනවා ..එතකොට අපි පාසල් ආවේ ගියේ මේ රතු මයි මල් පලස උඩින් ..දහස් ගණන් බාලිකාවන් මේ පලස යටින් ඇතුළු වෙලා මයි ගස් සෙවනේ ඉඳල  තමගේ ජීවිතය සාර්ථක කාගෙන පාසල් ජීවිතයට සමු දෙනවා මේ  මැයි ගහ බල ඉන්න ඇති .පාසලෙන් ඉවත් වෙද්දී සමරු පොත් වල ලියපු සටහන් අතර මයි ගසට ඇත්තේ සුවිශේෂී ස්ථානයක් .මෙතෝදිස්ත , මිෂනාරි විද්‍යාලයක් විදියට අරම්භ වෙලා පසුව දකුණේ අග්‍රගන්‍ය ජාතික පාසලක් වෙනකම් ගමන් මග ගැන නිහඩ සාක්ෂි කරුවෙක් වෙන්නේ මේ මැයි ගහ .
මැයි ගහේ සෙවන ලබපු අය ආදී ශිෂ්‍යාවන් වෙලා පාසලේ ව්ගුරුවරු, විදුහල්පති හා නිලධාරීන් ලෙසත් , විවද තලවල වෘත්තිකයන් ලෙසත් පාසලට නැවත එත්දීත් මවුවරු ලෙස තම දියණි හෝ මිත්තණියක ලෙස තම මිනිබිරියන්  නැවත පාසලට කැඳවා ගෙන එත්දීත් මේ ගස ආදරෙන් රතු මල් පෙති බිම හෙළ ආශීර්වාද කරන්න ඇති . පසු කලෙක ප්‍රදාන ගස විනාශ වීම නිසා කප්පාදුවට ලක් වුනත් එයින් හට ගත අංකුරයක් සරුවට වැවිල තිබුණා . දැන් නම් කාලෙකින් ගියේ නැති නිසා මොනව වෙලාද දන්නේ නැ .
මිනිස් ජීවිත එක්ක බැඳුනු ගස් තියෙනව . ඒවා වටා අමරණීය මතක තියෙනවා . මේ සටහනට දාන්න  මැයි ගසත් එක්ක පාසල් ද්දෝරටුවේ ජායාරූපයක් හෙව්වත් හම්බවුනේ නැ . Facebook හි තියෙන පාසල් පිටුවේ තියෙන්නෙත් මල් නැති අලුත ඇතිවූ ගහේ  පින්තුරයක් .. එත් ඒ කලේ මැයි ගහ යට අවුවට වැස්සට හිටපු අයගේ හිතේ මේ රූපය හැමදාමත් රැදී තියෙන  බව මම දන්නවා ...

Friday, October 3, 2014

නුග සෙවණ ..

.
දෙල් ගස යට සිටි අපි ඉන් පසු ආවේ නුග සෙවණටයි . ඒ රූපවාහිනියේ නුග සෙවණ වැඩසටහන නොව කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ නුග සෙවණයි. විශ්ව විද්‍යාලයේ විවෘත ආපන ශාලාව ඉදිරිපිට ඇති මෙහි ඇති බැංකුවක වැඩි වන්නන්ට පසෙකින් සත්ව විද්‍යා දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලත් , අනෙක් පසින් ක්‍රීඩාන්ගනයත් ඉදිරියෙන් තර්ස්ටන් පාරත් දිස්වේ . කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබුවකු නම් වරක් වත් නුග සෙවණේ  සිසිල ලැබුවකු විය යුතුය . ම මුලින්ම මෙහි සෙවණ  ලැබුවේ නවක වදයේ අංගයක් ලෙසිනි .( මෙය ඉතා අහිංසක නවක වදයක් වූ බවද කිව යුතුය .) කෙසේ වෙතත් දීර්ග පරශ්න කිරීම් වලින් වෙහෙසට පත් ම මිතුරිය කදුළු සැළු නිසා මට එතනින් මාරු වී යාමට හැකි විය.  පසු කලෙක තෙල බෙදීම  දීමටද  , පාඩම් සාකච්චා සඳහාද , කුඩාම ප්‍රමාණයේ කුප්පි සඳහාද  , හුදෙක් ඔප දූප කියවීමටද , වෙනත් මිතුරියක් එනතෙක් බලා  සිටීමටද මෙහි පැමිණ ඇත්තෙමි . සමහර විට නුග සෙවණේ  වීදි නාට්‍යද , ශිෂ්‍ය සංගම් රැස්වීම්ද මෙහි පැවැත්විණි .  සමහර විට welcome හෝ going down  වල විශ්ව විද්‍යාලීය කුමාර හෝ කුමරිය තේරීමත්  fire work displays ද මෙහි පැවැත්වුණි .මින් සමහරfire work  ඇත්ත ගින්දර සමගින් සිදුවූ අතර සමහරfire work සිදු වූ යේ ගල් මුගුරැ රැගෙනය .  විවෘත ආපන ශාලාව හරහා එන කපුටන් ගෙන් යම් යම් හිරිහැරද  අසල වූ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් animal house එකේ ගන්දයද විද ගෙන අපි නුග සෙවණේ  විසීමු . නුග ගස් වෙනත් ගස් මත පැළවීමෙන් ඒ ගස් වල වර්ධනයටද ජෛව විවිදත්වට වන හානි දක්වමින් මෙය කැපීමට සැරසුනත් .. මේ ෆෙතු සහසුද්දෙන්ම දන්නා උද්භිද විද්‍යාවද උගත් අපි එයට් එරෙහි වීමු .
කෙසේ වෙතත්  අවුරුදු ගනාවක් පුරා  විශ්ව විද්‍යාල සිසුන්ගේ සෝ සුසම් වේදනා  ආදරය විරහව පීඩනය අරගල විදි ලේ කදුළු දහදිය දුටු නුග ගස අපිට පෙර පරපරුට සෙවන දුන් සේ අපිටද ඉදිරියට එන පරපුර ටද සෙවණ දෙනු ඇත

Thursday, October 2, 2014

දෙල් ගහ යට ....



දෙල් වල උද්භිද විද්‍යාත්මක නාමය Artocarpus altilisය . අපේ ගෙදර මිදුලේද එවකට දෙල් ගස් තිබුණි . නමුත් අපේ පාසලේ අයට නම් චිර ප්‍රසිද්ද දෙල් ගස කොටුවේ යුධ හමුදා කඳවුර ඉදිරිපස ඇති දෙල් ගසයි . එවකට පාසල් වැන් රථ පාසල් ගේට්ටුව අසලටම යාමට ඉඩ නුදුන් අතර අද අමන්ගල්ල ලෙස හදුන්වන එවකට NOH හෝටලයඅසල  හෝ දෙල් ගස අසල වැන් රථ නවත්වනු ලැබීය . පාසලට එනවිට කෙසේ වෙතත් පාසල අවසන් වූ පසු නම් දෙල් ගස පච ගසක් බවට පත්වේ . පාසලේ ඉගෙනුම කටයුතු , විෂයය බාහිර ක්‍රියා , ගුරුවරුන්ගේ හැසිරීම්, ළමුන්ගේ ගුණ දොස් , ඕපදූප , විවේචන , මද ගැසිලි , අදහෂ්, උදහස් මෙකි නොකී දේ සන්නිවේදනය වූ පියස දෙල් ගස විය . දෙල් ගස යට තක්සලාවෙන් ලත් නොවිදිමත් ඉගෙනුම බොහෝය . සමාන්තර පන්ති වල අම්ම ඉහල පහල පන්ති වල දැනුමද  එක ක් ගුරුවරුන්ගේ ඉගෙන්වීම් ස්වභාවය මෙන්ම , එවකට ඉතා සීමිත වූ ප්‍රේම සම්බන්දත ඇති සිසුවියන් පිලිබඳ තොරතුරුද , යාබද පාසල් වල සිසුන් ගෙනද ඒවායේ ඇති දින, සම්මන්ත්‍රණ වැඩ සටහන් ගැනද දෙල් ගහ යට mates ල critically analyse කළහ . දෙල් ගහ යටදී ප්‍රගුණ කල research skills දිගටම පුරුදු වුව නං අපි phd ලැබිය යුත්තේ වයස 18 පිරීමටත් ප්‍රතමය . 

අද කොටුව ලස්සන වී ඇත . බිමට ලස්සන ගඩොල් අල්ලා  ඇත. නව සාප්පු සංකීර්ණ හෝටල් ඉදිවී ඇත . ලංකාවේ ඉඩම් මිල වැඩිම කොටුවෙලු . කෙසේ වෙතත දන්නා හැටියට තම දෙල් ගහ තිබේ . හැමදාම දෙල්ගහ එසේ සිට තවත් යට සෙවණ  සලසනුද අවිදිමත් සංවේදනයට මග පාදනුද ඇත . එදා දෙල් ගහ යට හමුවූ අය අද බුකියෙදී හමුවී  එදා කල දේම කරති . මාතෘකා ටිකක් advanced ය. එනම් දරු ප්‍රශ්න , පවුල් ප්‍රශ්න, ඉඩම් , නිවාස. වාහන , ජීවන වියදම , migration , උසස් අධ්‍යාපනය , රැකියා යනාදියයි .  එදා දෙල් ගස කල දේ අද සකර්බර්ග් කර ඇත . එත් මගේ පැතුම නම් ලබන ආත්මයේදීත් අපි දෙල් ගහයටම හමුවීමයි .
(මේ පින්තුරයේ ඇත්තේ අපේ දෙල් ගහ නොවේ . Wikipedia වෙන් උපුටා ගත්තකි .)