Wednesday, February 26, 2014

පුංචි පුංචි පැල් ෂා හරිම ලස්සනයි ........






මං 4 වසරේ දී අම්මා මම කුඩා මිතුරි කණ්ඩායමට යොමු කලේ එදිනෙද වැඩ මට තනියම කරගන්න පුහුණුව ලැබෙන්න කියල (ඊට පස්සේ අම්මගෙයි තාත්තගෙයි එදිනෙද වැඩ නම් වැඩි වෙන්න ඇති ) ටික කාලෙකින් wings අරන් මාත් බාලදක්ෂිකා රැලට පියෑබුවා කියමුකෝ . ඊට පස්සේ තමයි Camp යෑම ආවේ ...මුලින්ම ආවේ Kandy Camp එක ..නුවරට කොයිතරම් ආස වුනත් දවස 10ක් විතර වුන ඒකට යන්න ගෙදරින් ඉඩ ලැබුනෙත් නෑ . ඊට පස්සේ ගාල්ලේ තිබුණ camp එකකට අපි ගියා ...වවුලන් ක්ෂීරපායි බව දැන ගෙන හිටියට උන් වැසිකිලි පාවිච්චි කරන බව මේ camp එකේදී ඉගනගත්තදෙයක් ..ඊට පස්සේ Camp එක තිබුනේ බත්තරමුල්ල ශ්‍රී සුභූති විදුහලේ ..(අදත් මට සේවා අවශ්‍යතාවයකට මේ පාසලට ගියාම මතක් වෙන්නේ අපේ ජුබිලි camp එක.) බාලදක්ෂිකා ව්‍යාපාරේ 60-70 වෙනි සංවස්තරය වෙනුවෙන්යි මේක පැවැත්වුනේ ...ඒ අවට පාසල් කීපයකම කඳවුරු තිබුණා ...පළමුවෙනි දවසේ අපි ගමන් වෙහෙස නොබලා කඳවුරු බැන්දා ..රෑ සීතල මොකද කියල බලනකොට වැස්සට අපේ කූඩාරම ඇඟට වැටිලා ...වැස්ස නිදා දවස් දවස් 7න් 4ක් විතර අපේ කූඩාරම වුනේ ශාලාව ...පෙරුම් පුරාගෙන සාර්ථක 5 වෙනි පාරටත් 6වෙනි දවසේ කූඩාරම ගගෙන් නිදා ගන්න ගියාම එදත් ටිකකින් අපි කූඩාරම ඇගේ නිදි ..වටෙම් ගංවතුර නිසා ශාලාවේ corridor එකකට ගියත් එහි පොල්මන්කාර සුනක පෝතකයෝ එක්ක දේශ සීමා අරගලයක පටලෙන්නත් වුණා...ශාලාවේ අපි නිදා ගත්තේ අන්තිමට ... ඒ අපිට දුවලා , පැනලා හරි ඉගෙනීමෙන් හරි record තියන්න බැරි නිසා නිදි මරලා record තියන්න තියර ඇරෙනවා ..තිරය වැහෙනවා සින්දුවේ නව පද මාලාව නිර්මාණය වුනේ මෙතනදී ..( මේ ගැන අපේ record breaking team නිලුක්ෂි , බෝධිනී , ඉනෝකා වගේ අය දන්නවා ..ආශිනි ගේ sleeping bag එක එයා නැතුවත් camp ගිය නිසා එකත් දන්නවා ..) මේ සීමාවේදී අපිට පේද්‍රිස් උද්‍යානයේ රැලියකුත් තිබුණා ..අපි බස් එකේ කුරුණෑගල බලදක්ෂිකවොත් හිටියා ... අද දවසේ පාසල් ශිෂ්‍යාවන්ට මාරක අවි වෙලා තියෙන facebook , ජංගම දුරකථන නොතිබුන නිසා අපි ඒ අයගේ ලිපින ඉල්ලගෙන ගවුමේ pocket එකේ දාගත්ත ..ගවුමත් එක්ක එක මතක වෙලා සේදුන නිසා මිත්‍රත්වයේ ආයුෂ 1 දවසයි ...මගෙන් ලිපිනය ඉල්ලාගත් අනෙක් මිතුරියන්ටත් ඒ ආනිසංසයම වෙන්න ඇති ..මේ රැලියේ තිබුණ අබියෝගිත කුසලානය සඳහා අපි නව cooking methodology එකක් ඉදිරිපත් කලා ..ඒ T -shirt එක noodle පෙරීම සඳහා යොදා ගැනීම ..අලුත් theory එක තුලානි ගේ ..ගාල්ල දිස්ත්රික්කයේ අපිට ලැබුනේ 2nd හරි 3rd place එක .. කොහොම වුනත් අතක් පයක් නොකැඩි දවස් 7 අවසානයේ අපි රජරට රැජිනියෙන් රුහුණු පුරවරේට ආව ...( එත් තව පොඩ්ඩෙන් අපේ කට්ටිය නවතින්නේ කන්ද උඩරට ..ඒ platform වැරදිලා නුවර කෝච්චියට නැගලා ..)

Sunday, February 16, 2014

බෝට්ටුව


අපි පුංචි කාලේ  බෝට්ටු හැදුවේ කඩදාසි වලිනි . වැසි  දිනවල ඒවා පා  කිරීම අපේ විනොදාන්ශයයි . ප්‍රථමික පන්තිවල අවුරුදු  ගනනක් අත්වැඩ  විෂයයක් ලෙස හැදෑරුවත් මට තනියම සෑදිය හැකි එකම අත්වැඩ  මේ කඩදාසි බෝට්ටු සැදීමයි. මුහුදේ යන  බෝට්ටු නැරඹීම අපි පුරුදු වුනේ ගෙදරට මුහුද පේන නිසයි . අලුත් මාළු  ලාබෙට ගැනීමට බෝට්ටු ගොඩබිමට එන යාම අපේ පැත්තේ අයගේ සිරිතකි .  ඉස්සර  කාලයේ බෝට්ටු විශේෂයකින් වෙළදාමේ මාලදිවයින් ජාතිකයන් මෙරටට  පැමිණි   දිය හකුරු , බොඩ අලුවා  වැනි කම විකුණු බව පැවසුවේ අපේ ආච්චිය .  3 පන්තියේදී පරිසරය පාඩමට දියේ යන වහනයක් ලෙස බෝට්ටු හදුන්වා දෙන ලදී . 5 පන්තියේදී  ආරම්භක විද්‍යාවට "වාෂ්ප බෝට්ටු " පිළිබද සංකල්පය උගන්වන ලදී . විශ්ව විද්‍යාල භාෂාවෙන් "බෝට්ටු " යනු වඩා ඉහල පාටමාලවකට  එය හදාරන සිසුන් මදි වීම නිසා නෙවත කැදවනු ලැබීමයි. අපේ සමහර බැචාලා බෝට්ටුවෙන් උඩට ගිය අතර සමහරු බලාපොරොත්තු වූ බෝට්ටුව තුන්මුල්ලට ආවේම නැත. අපේ තාත්තා බෝට්ටුවේ යන්න තිබෙන නිසා පාසලින් මඩොල් දූවට යන චාරිකාවකට යන්න ඉඩ නුදුන් අතර විශ්ව විද්‍යාලයේ ඔරු පැදීමේ කණ්ඩායමට යාමටද හරස් විය . පාසල්  කාලයේදීත් ගැහැණු පිරිමි මල් පලතුරු , 123 Bumble Bee  හැර කිසිම ක්‍රීඩාවක් නොකළ මට  විශ්ව විද්‍යාලයේ දී ද ක්‍රීඩා අහිමි වුයේ තාත්තාගේ  විරෝදය නිසාම නොව ඔරු පැදීම සඳහා වූ කෙටි ඇඳුම් ඇඳීමට වූ මැලි බවත් , ඔරු පැදීමෙන්  පාද  වල පේශි අනවශ්‍ය ලෙස වර්දනය වන බවට කවුදෝ බැචියක් කියූ කතාවකට බිය වීමත් නිසාය . යන්තම් පසු කලෙක course mates ල ටිකක්  සමග බෝට්ටුවේ ගියෙත් trip එකේ ඒ කොටස ලොප් කර ගෙදරට කීමෙනි .බෝට්ටු  වෙරල  අයිනේ නැවත තැබීම සුලභ දසුනක් වුවත් මහ  පාරේ බෝට්ටු දැක්කේ සුනාමියට පසුදා  නිවසට ගෑස් ගෙන ඒමට වූ වීර චාරිකාවට තාත්තා  සමග එක්වූ නිසා ගාල්ලේ මිනුවන්ගොඩ හන්දියේදීය . මරාගෙන මැරෙන බෝට්ටුත් ඒවා විනාශ කල ප්‍රහාරක බෝට්ටුටුත් ගැන ඒ දස්වල නිතරම ප්‍රවෘත්ති  වලට කිවේය . දැන් නම් ඇසෙන්නේ අනවසරයෙන් දේශ සීමාවට  ඇතුලත් වූ ඉන්දීය ධීවර බෝට්ටු හෝ අයහපත් කාලගුණ තත්වය නිසා අනතුරට ලක්වූ බෝට්ටු ගැනය . පැපුවා  නිව්ගිනියාවේ සිර කරන බව කොතෙක් නිවේදනය කලත්  බෝට්ටුවෙන්  ඔස්ට්‍රේලියාවට පැනීමට ගොස් මහා මුහුද මැදදී ජීවිතයට නැවතීමේ තිත තැබූ අය  ගැනද කතාවේ . කොළඹ නගරයේ අභ්‍යන්තර ජලාශ  ආශ්‍රිතව  හංස බෝට්ටු දැකිය හැක . වතාවක්  දියවන්නාව  ආශ්‍රිතව ප්‍රදර්ශනයකට  තබා තිබු හෙලිකොප්ටරයක් හැඩයේ බෝට්ටුවක්ද දුටිමි . හබලක් වත් නැතිව නැව්  talk  දැමීම තේරුමක් නැතියැයි  කියවන අයට හැගෙන්නට  හැකි නිසා බෝට්ටු කතාවද මෙතනින්  නවත්වමි.


Thursday, February 6, 2014

Face Book නොතිබුනානම් ....

                                                               

සකර්බර්ග්  Face  Book  නිර්මාණය කලේ ඔහු විශ්ව  විද්‍යාල  ශිෂ්‍යයෙකුව සිටියදී යයි කියති . අපි විශ්ව විද්‍යාලයේ  සිටියදී  Face  Book    එවැන්නක් බිහිවනු ඇතැයිද නොසිතුවෙමු . වසර 10ක්  සපිරෙන Face  Book   ජීවිත කාලයෙන් අඩකටත් වඩා  එනම් වාසල 6ක් පමණ එය හා සබදිව ගත කර ඇත්තෙමු . Facebook  නොතිබුනානම් අපේ කාලයේ ඇත්තන්ගේ ජීවිත මෙයට වැඩ බොහෝ වෙනස් වෙන්නට  තිබුණි . " දෙපා වාරු නැත ඔබ  හැරයන්නට " කියා අඩ  අඩා  සමුගත් පාසලේ නමට group  හදන්නත් ඒ කාලයේ යාලුවෝ උන්නද මලාද  යන්නත් දැන ගැනීමට නොහැකි වන්නට තිබුණි . ඔවුන්ගේ  විවාහ වලට virtual සුබ පතන්නටත් , දරුවන්ගේ  පින්තුර  වලට " how  sweet " හෝ "cute " කියන්නත් නොතිබෙන්නට තිබුණි .  මේ පුංචි රටේ මතු  කවදා  හෝ  බලාපොරොත්තුවෙන් වෙන් වූ සමකාලීනයෝ වෙනත් රටවල පෙරලි කරනු බලා  සතුටු වීමට හෝ status updates  වලට like දැමීමටත් ඉඩ නොලැබෙනු  ඇත . Uniform අදින සමකලීනයකුගේ " Im  Proud  of  U  Bro .." වැනි comment  එකක් දමා අපිටත් රණ විරු යාලුවෝ සිටිතැයි  කියා යුද ජයග්‍රහණයේ   credit  එකට ප්‍රත්‍යක්ෂ ඇසුරින් හෝ ලං  වන්නතටත්  ඉඩක් නොලැබෙන්නට ඉඩ තිබුණි . විශ්ව විද්‍යාලයේ සමකාලීනයන්  නමට ඉදිරියෙන් අකුරු එකතු කර ගනිද්දී ආඩම්බරයෙන් ඒ අපේ යාලුවෙකයි  කියන්නටත් ..හිත  අප්සෙට්ම  වූ විට කගේ හෝ රුවන් වැකියක් , විරහ ගීයක් ," මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා " වැන්නක්  ලියා  like  සිය ගණනක් ගෙන මෙච්චරම මන් ගැන හිතන යාලුවෝ ඉන්නවා නේදැයි සිත සිත හිත හද ගන්නටද ඉඩ නොලැබෙනු ඇත.
ආච්චිලගේ සීයලාගේ  නමින් profile  හදන්නත් , වයස 50 නංගිලාට  25 අය්යලව අමත්නටත් ,  ජීවිතේට දැක නැති  පුතේ කිව වුතු වයසේ අයගෙන් " I  like to  add  U  sweety " වැනි  ගෞරවනීය  වචන ඇති request  නොඑන්නටත් තිබුණි . රුක් රෝපණ දිනයට පලයක් නොසිටවූ  හෝ අවුරුද්දේ වැඩ අල්ලන නැකතටවත්  උදැල්ලක් නොඇල්ලු වුන් ගොවියන් වී සම්මාන ලබා ගන්නා අයුරු නොදකින්නත් ගොවිතැනට කයියට අපිට නිතරම බුලත් බෙදෙන්නත් (game request ) වනු ඇති බව නිසැකය . විදේශීය මිතුරන් පෑනේ මිතුරන් ට හෝ  එම මිතුරු සබදතා ඉඳ හිට mail  එකක් forward  කි රීමට සීමා වන්නට තිබුණි . සියල්ලටම  වඩා  Facebook  නොතිබුනානම්  මේ post  එක ලියවෙන්නේද නැත .